“බලෙන් රිංගා ගත්” ආණ්ඩුව එළවීමට රනිල් ජනබල මෙහෙයුම් කැඳවයි | VIDEO

පාර්ලිමේන්තු ඡන්දයෙන් පරාජයට පත්වී සිටියත් බලහත්කාරයෙන් රැඳී සිටින මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේග පලවා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායකයා බහුජන විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලෙස ඉල්ලා සිටී.

අරලියගහ මන්දිරයේදී සිය ප්‍රාදේශීය දේශපාලන නායකත්වය අමතමින් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන් සතු බව මේ වනවිට කිහිප වතාවක්ම ඔප්පු කර ඇති බවයි.

එමනිසා මහින්ද රාජපක්ෂ පාර්ශවය නිලතල වලින් ඉවත් විය යුතු බව අවධාරණය කළ එජාප නායකයා එසේ නොකරන්නේ නම් ඔවුන් ඉවත් කිරීමට ජනතා බලය යෙදවීමට සැරසෙන ලෙස එජාප පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ආශිර්වාදයෙන් බලයේ රැඳී සිටින කණ්ඩායම “මැර ආණ්ඩුවක්”ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ ඔවුන් “ඉවත් වෙන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේ විතරක් නෙවේ ජනතා බලයත් යොදවලා, ජනබල මෙහෙයුම් කරලා, උද්ඝෝෂණ කරලා,” පලවා හළ යුතු බව කියා සිටියේය.

ඒ සඳහා වන අනාගත සැලසුම පක්ෂයේ සභාපති කබීර් හෂීම් විසින් ලබා දෙනු ඇති බවට ඔහු ප්‍රාදේශීය පක්ෂ නායකත්වයට දැනුම් දුන්නේය.

තමන් අගමැති ධුරය දැරීමට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවොත් එය පරාජය කිරීමටත්, විශ්වාසය පලකරන යෝජනාවක්  ජයග්‍රහණය කිරීමටත් ප්‍රමාණවත් මන්ත්‍රී බහුතරය පාර්ලිමේන්තුව තුලදී  ලබාගත හැකි බවටත් එජාප නායක රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස විශ්වාසය පල කළේය.

Related posts

Comments are closed.

Top