තවත් පාර්ලිමේන්තු පරාජයකට පසු ජනපති කතානායක අගය කරයි

මහින්ද රාජපක්ෂ පාලනයකට පාර්ලිමේන්තුවේ වැඩිදෙනකු දක්වන විරෝධය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සමගින්  විධායකයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ කතානායක කරු ජයසුරියට කල්ගොස් ජනාධිපතිවරයාගේ ප්‍රශංසාව හිමිවී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 29 බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක දී කතානායක කරු ජයසුරියට සිය ප්‍රශංසාව පිරිනමා ඇත්තේ සමග පවත්වා ඇත්තේ අගමැති වැය ශීර්ෂය කැපීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි බහුතරයක් විසින් තීන්දු කරනු ලැබීමෙන්  අනතුරුවයි.

ජනාධිපති මනාපයෙන් පත් කරන ලද අගමැති සහ ආණ්ඩුවට එරෙහිව මැතිසබයේ දෙසතියක් තුල ඡන්දය ප්‍රකාශ වූ සිව් වැනි වතාව එයයි.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් හමුවීමටද ජනාධිපති තීරණය කර ඇත.

“සෑම අංශයකින්ම රට තුල අස්ථාවර තත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණ වීම, ආයෝජන ක්ෂේත්‍රය සහ සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම, රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින්, අවිනිශ්චිත තත්වයට  ඉක්මන් විසඳුමක් ලබා දීම කළ යුතු බව ගරු කතානායක තුමා පෙන්වා දෙනු ලැබීය,” යි ජනපති සමග සාකච්ඡාවෙන් පසු කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“මෙහිදී කතානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් පළවූ අතර විසඳුමකට එළැඹීමෙහි ලා කතානායකවරයා ඉටු කරමින් සිටින කාර්ය භාරයද ජනාධිපති තුමාගේ ඇගයීමට ලක් විය.”

මීට ඉහතදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ රාජපක්ෂවාදී මන්ත්‍රීවරුන් රටේ පවතින අරාජික තත්වය  සම්බන්ධයෙන් දොස් පවරා සිටියේ කතානායකවරයාටය.

මහින්ද රාජපක්ෂ පාලනයකට මන්ත්‍රීවරුන් බහුතරයක විශ්වාසය නැති බව ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය විමසු ආකාරය පිළිබඳව කතානායකවරයා ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්වී සිටියේය.

කෙසේවෙතත්, පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය තහවුරු කරගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක මෙන්ම පුරවැසි ක්‍රියාකාරීන්ගේ හා ජාත්‍යන්තර ආයතන වල ප්‍රසාදය කතානායක කරු ජයසූරියට හිමිවී තිබේ.

ශ්‍රී ලංකාවේ අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනපති සහ කතානායක අතර සාකච්ඡාවකින් කඩිනම් විසඳීමකට එළඹීමේ යෝග්‍යතාව අලලා පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරුන් විසින් නොවැම්බර් 29 දා පාර්ලිමේන්තුවේ දී පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් කතානායක වරයා එදිනම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවූ බව කතානායක කාර්යාලය පවසයි.

එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් 123 දෙනකුම අගමැති කාර්යාලයට රජයෙන් වැය කරන මුදල්  කපා හැරීමට ඡන්දය දී තිබුනි.

ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට දැනුම් දී තිබුනේ  ඔක්තෝබර් 26 වැනි දිනට පෙර පැවති එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව නැවත පිහිටුවීම සඳහා සහාය දෙන බවයි.

මීට ඉහත දී විශ්වාස භංග යෝජනා දෙකකින්ද තේරීම් කාරක සභාවේ සංයුතිය සඳහා වූ ඡන්ද විමසීමකින්ද මහින්ද රාජපක්ෂ පාර්ශවයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් ඡන්දය පාවිච්චි කළහ.

පාර්ලිමේන්තුව කල් දමා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීම සමග  මසකට වැඩි කලක් දිග්ගැසෙමින් පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් කතා කිරීම සඳහා නොවැම්බර් 30 දා ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණු නායකත්වය සහ විපක්ෂ නායකයා මුණ ගැසීමට නියමිත බව කතානායක කාර්යාලය වැඩි දුරටත් පවසයි.

කතානායක, ජනපති හමුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.

 

 

Related posts

Comments are closed.

Top