නාවික භටයන් මාධ්‍යවේදීන්ට පහර දීම ගැන යහපාලන ආණ්ඩුවට දොස් | VIDEO

සාපරාධී මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ පරීක්ෂණ වලට බාධා කරන බවට චෝදනා නැගී තිබෙන ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවේ ඉහලම සෙනෙවියා උසාවි ඒම වාර්තා කිරීමේ යෙදුනු මාධ්‍යවේදීන් ට නාවික හමුදා නිලධාරීන් පිරිසක් පහර දීම සම්බන්ධයෙන් යහපාලන රජයට චෝදනා එල්ලවී තිබේ.

දෙමාසයක් පොලිසිය මගහැර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි දවසේ ඡායාරූප ගැනීමේ යෙදුනු මාධ්‍යවේදීන්ට නාවික හමුදා භට පිරිසක් විසින් පහර දී තිබුනි.

දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක නායකයෙක් පවසන්නේ දෙවසරකට ආසන්න කාලයකට ඉහත අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නාවික හමුදාපතිව සිටිය දී  හම්බන්තොටදී මාධ්‍යවේදියකුට පහරදීමට එරෙහිව යහපාලන රජය කිසිදු පියවරක් නොගැනීම පවත්නා අර්බුදකාරී දේශපාලන වාතාවරණය මධ්‍යයේ නාවික හමුදා නිලධාරීන්ට ප්‍රචණ්ඩ ක්‍රියා වල යෙදීම සඳහා ධෛර්යය සපයා ඇති බවයි.

“ඒ සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් කරලා ඔහුට විරුද්ධව නඩු පවරලා, මාධ්‍යවේදීන්ට ගහපු එක සම්බන්ධයෙන් යම් ක්‍රියා මාර්ගයක් අරගෙන තිබුනා නම්, අද දවසේ මේක වෙන්නේ නෑ,”  යි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කොළඹදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

කොටුව උසාවි භුමිය අබියසදී මාධ්‍යවේදීන්ට පහර දුන් එක් නාවිකයකු පොලිසිය විසින් අත් අඩංගුවට ගැනුනද චෝදනා ගොනු කිරීමකින් තොරවම නිදහස් කර යවා තිබුනි.

හම්බන්තොට වරාය කම්කරුවන්ගේ උද්ඝෝෂණයක් විසුරුවා හැරීමේ මෙහෙයුමකට සන්නද්ධ භට කණ්ඩායමක් සමග ඉකුත් දෙසැම්බරයේ සිවිල් ඇඳුමින් පැමිණි එවක නාවික හමුදාපතිව සිටි රවීන්ද්‍ර විජේගුණරත්න විසින් නිදහස් මාධ්‍යවේදී රොෂාන් දිලිප් කුමාරට පහර දෙන ලදී.

එම ප්‍රහාරයෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ නාවික හමුදාපතිවරයාට “නැව් මුදා ගැනීම” සම්බන්ධයෙන් තුති පිදූ අතර රජය ඔහුට සේවා දිගුවක්ද ලබා දී තිබුනි.

කොළඹ සහ ඒ අවටින් පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නොවැම්බර් 5  දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටී.

Related posts

Comments are closed.

Top