මහින්දට විරුද්ධව ජනාධිපති තවත් විශ්වාස භංගයක් ඉල්ලයි | VIDEO

සිය මනාපයෙන් අගමැති ධුරයට පත් කරන ලද මහින්ද රාජපක්ෂට එරෙහිව තුන්වැනි වරටත් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටී.

දෙවාරයක්ම පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවකින් පරාජය කරන ලද මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති බව නැවතත් සහතික කරගැනීම සඳහා විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉල්ලා ඇත්තේ විපක්ෂ නායකයා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේය.

පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත දෙසැම්බර් 5 දා එම විශ්වාස භංගය යෝජනාව සභාගත කර විද්‍යුත් ඡන්ද විමසීමකින් ලැබෙන ප්‍රතිපලය පිළිගැනීමට ජනාධිපතිවරයා TNA නියෝජිත පිරිස හමුවේ කැමැත්ත පල කර තිබේ.

ඉන් පසුව රටේ පවත්නා දේශපාලන තත්වය යහපත් අතට හැරෙනු ඇති බවට විශ්වාසය පල කළ විපක්ෂ නායකයා කියා සිටියේ ද්විපාර්ශවීය සාකච්ඡා පයක පමණ කාලයක් සුහද ලෙසින් පැවතුනු බවයි.

“කරුනු කාරනා ඉක්මනින් විසඳිය යුතු බවට ඔහු හිත හදාගෙන තිබෙන බවක් මට පෙනී ගියා,” යි ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ගගන හා කියා සිටියේය.

කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයට ගත් මුල් දෙවතාවේම සිදුවූ ආකාරයට ඔහුට හිතවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩ නොවීමේ සහතිකයක් ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටියේ වත්, එවන් සහතිකයක් ලැබුනේ වත් නැති බව විපක්ෂ නායකයා වැඩිදුරටත් කියා සිටියේය.

සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතදී චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා  මාධ්‍යවේදීන් හා කියා සිටියේ මහින්ද රාජපක්ෂට බහුතරයක් නොමැති බව ජනාධිපති වරයා පිළිගෙන සිටින බවයි.

දෙසැම්බර් 5 දා පාර්ලිමේන්තු බහුතරය පෙන්වන පාර්ශවයෙන් අගමැතිවරයකු නම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එකඟතාව පලකළ බව ද නිර්මලනාදන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

TNA හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය මුණගැසුනේය.

Related posts

Comments are closed.

Top