ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවී ඇති විශාලතම සමූහ මිනී වලෙන් සිරුරු 256 ක් ගොඩගෙන තිබේ.
එම මිනිස් ඇටසැකිලි අතරින් 250 ක් අධිකරණය භාරයට පත් කර ඇති බව මන්නාරම සමූහ මිනීවලේ විමර්ශන කටයුතු භාර වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන්ට කියා සිටියේය.
මේ අතර විස්සකට ආසන්න දරුවන්ගේ සිරුරු ද හමුවී තිබේ.
දිගටම කරගෙන යන කැනීම් වලින් තවත් මිනිස් ඇටසැකිලි මතුවනු ඇති බවට පරීක්ෂණ භාර නිලධාරීහු විශ්වාස කරති.
මේ අවුරුද්දේ මැයි මාසයේ දී මුල්වරට ඇටසැකිලි හමුවූ මන්නාරම සතොස සමූහ මිනීවලේ දින 111 ක් විශේෂඥ කැනීම් කටයුතු සිදු කර තිබේ.
හමුවූ සිරුරු කොටස් අතරින් තෝරාගත් නියැදි කිහිපයක් කාල නිර්ණය සඳහා ෆ්ලොරීඩාවේ බීටා ඇනලිටික් විද්‍යාගාරය වෙත යැවීමට මීට මාසයකට ඉහතදී අධිකරණය අනුමැතිය දී තිබුනි.