“අම්මලා 17 ක් මැරිලත් අතුරුදහන් වුවන් ගැන ජාත්‍යන්තරය සද්ද නෑ” | VIDEO

අතුරුදහන් වූ දරුවන් සොයන අම්මලාගේ ජගත් මානව හිමිකම් දින උද්ඝෝෂණය

අතුරුදහන් කරවන ලද සිය දරුවන් සොයා දෙන ලෙස බලකරන අඛණ්ඩ විරෝධතාවල නිරතව සිටි මෑණිවරුන් දාහත්දෙනකු සිත් වේදනාවෙන් මරුමුවට පත් වී තිබියදීත් යුක්තිය ඉටුකර දීම වෙනුවෙන් ජාත්‍යන්තරය මැදිහත් නොවීමගැන උතුරු නැගෙනහිර ඥාතීහු කම්පාව පල කරති.

කිලිනොච්චියෙන් මුල්ම විරෝධතාව ආරම්භ කර 650 කට ආසන්න දින ගණනක් ගතවීත් විසඳුමක් නොලද අතුරුදහන් වුවන්ගේ ඥාතීහු ජගත් මානව හිමිකම් දිනය සමරමින් උතුරේත්, නැගෙනහිරත් උද්ඝෝෂණ පැවැත්වූයේ අවුරුදු දහයකට ආසන්න කාලයක් තිස්සේ කළ ඉල්ලීම් නැවත ප්‍රතිරාවය කරමිනි.

“මේතරම් දෙයක් සිද්ධ වෙලත් ජාත්‍යන්තරය නිහඬ ඇයි?” යනුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ නායිකා මරියසුරේෂ් ඊශ්වරී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලතිව් කාර්යාලයට සංදේශයක් බාර දෙමින් විමසුවාය.

ජාත්‍යන්තරආයතන වෙතින් මෙතෙක් කරන ලද ඉල්ලීම් වලට අත්වූ ඉරණම ගැනත් 2018 මානව හිමිකම් දිනයේ දී එක්සත් ජාතීන් වෙත බාර දෙන ලද සංදේශයෙන් ප්‍රශ්න කර ඇති බව ඇය මාධ්‍යවේදීන්ටපැවසුවාය.

මුලතිව්උද්ඝෝෂණය පවත්වන ලද්දේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම යන උතුරේ දිස්ත්‍රික් පහේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි.

තමන්ට ජාත්‍යන්තරය සරණ යාමට සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් මේතාක් යුක්තිය ඉටු වී නැති නිසා යයි අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංවිධානවල උතුරු නැගෙනහිර කැඳවුම් කාරියයෝගරාජා කනගරංජනී මාධ්‍යවේදීන්ට පැවසුවාය.  

“යුද්ධය අවසානයේ බාරදී අතුරුදහන් වූ, ගම්මාන වලට සුදු වෑන් වලින් පැමිණ පැහැරගෙන ගිය, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී අතුරුදහන් කරවන ලද සහ යටත් වූ පසු අතුරුදහන්”  තම ඥාතීන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස ආණ්ඩුවටබලකරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන වලින් ඉල්ලා සිටින බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

උතුරු නැගෙනහිර සෑම දිස්ත්‍රික්කයකම පාහේ අතුරුදහන් වුවන්ට යුක්තිය ඉල්ලන ජගත් මානවහිමිකම් දින සමරු උද්ඝෝෂණ පැවති අතර අම්පාර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන නැගෙනහිරදිස්ත්‍රික් තුනේ ඥාතීහු තිරුක්කෝවිල් වෙත එක්ව සිටියහ.

මේ අතර 2018 මානව හිමිකම් දිනය වෙනුවෙන් කෙටි පණිවිඩයක් නිකුත් කරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP), අතුරුදහන් කරවූවන්ගේ සහ අතුරුදහන් වූවන්ගේ පවුල් විසින් කරන කාර්ය අගය කර තිබේ.

“ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස,  අතුරුදහන් කරවූවන්ගේසහ අතුරුදහන් වූවන්ගේ හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා කටයුතු කරන අතර, එම පුද්ගලයන් අතුරුදහන් වූයේ කුමන තත්ත්වයක් යටතේ ද යන්න පැහැදිලි කරගැනීම, මේ අතරතුර සහනලබාදීම මෙන්ම, නැවතඑවන් තත්ත්වයන් ඇති නොවන තැනට සමාජය ගෙනයාම යනාදී කටයුතු සඳහා ද,” තම කාර්යාලයකැපවන බව OMP ය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

Related posts

Comments are closed.

Top