113+ සඳහා මන්ත්‍රී අල්ලස්: ජනපති හෙළිදරව්ව ගැන විභාගයක් ඉල්ලයි | VIDEO

පාර්ලිමේන්තුවේ බහුතරයක සහයෝගය ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරුන් අල්ලස් දී මිලට ගැනීමට දරන ලද අසාර්ථක උත්සාහ කිරීම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් කරන ලද හෙළිදරව්ව ගැන ජාත්‍යන්තර  දූෂණ විරෝධී ආයතනයක් පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

විශ්වාසභංග යෝජනාවකින් තමන් විසින් පත් කරන ලද අගමැති ධුරයෙන් පහකරන ලද මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා ගැනීමට නොහැකි වුයේ ඇතැම් මන්ත්‍රීවරුන්ටකෝටි ගණනින් ගෙවීමට නොහැකි වීම නිසා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කොළඹින් පලකෙරෙන ඩේලි මිරර් වෙබ් අඩවියට පවසා තිබුනි.

එම ප්‍රකාශය අඩංගු සීඩී තැටියක්ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට බාරදෙමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කොමිසමේ සභාපති ටීබී වීරසූරිය විනිසුරු වරයා ගෙන් ඉල්ලා ඇත.

“මන්ත්‍රීවරුන්ට මිළ ගණන් කැඳවීම් කළානේ,” යි ජනාධිපතිවරයා පවසන සාකච්ඡාවක වීඩියෝ පටයක් ඩේලි මිරර් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබුනි.

“හරියට ටෙන්ඩර් දැම්මා වගේ තමයි මං හිතන්නේ. මම පුද්ගලිකවම දන්නවා සමහර අය මිලියන් පන්සීය ඉල්ලුවයි කියලා මට දැනගන්න තියෙනවා.”

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විශ්වාස භංග දෙකකින්ම පැරදීමට ද මන්ත්‍රී මිල ඉහල යාම බලපාන්නට ඇති බව ජනාධිපතිවරයාගේ විශ්වාසයයි.

“මේ ප්‍රශ්නෙදි මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට 113 හදාගන්න බැරිවෙච්චි කාරණේ වෙන්නේ ඔයමිලගණන්  ඉහල යාම.”

අල්ලස් කොමිසමට පැමිණිලි කරන ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාවේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පවසන්නේ ජනපති ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ අධිකාරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කොමිසමට පවරා ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව අත් හිටුවා, රනිල් වික්‍රමසිංහ අගමැති කමින් පලවා හැර, මහින්ද රාජපක්ෂ එතනට පත් කළ දා පටන් මේ වනතුරු ප්‍රකාශයට පත්වූ මන්ත්‍රීවරුන්ට අල්ලස් දීම පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය මීට ඉහතදී ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලිකර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාට අල්ලස් හා අමාත්‍ය ධුර ලබා දී රාජපක්ෂ පාර්ශවය වෙත දිනා ගැනීමට දරන ලද උත්සාහයක් පිළිබඳ පැමිණිල්ල පළමුවැන්නයි.

පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන්ට “මිල නියම කර” ඇති බවට ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 11 දා කළ ප්‍රසිද්ධ ප්‍රකාශයද එම ආයතනය විසින් කොමිසමේ අවධානයට යොමු කර තිබේ. 

එවරද ජනාධිපති සිරිසේන විසින් ප්‍රකාශ කර තිබුනේ මිලියන 500 දක්වා මන්ත්‍රී මිල නියම වූ බවයි.

කලින් කළ පැමිණිල්ලට ජනාධිපතිගේ නවතම හෙළිදරව්ව “බෙහෙවින් අදාළ” වන බව ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරයේ විශ්වාසයයි.

Related posts

Comments are closed.

Top