රනිල් – සම්බන්ධන් හොර ගිවිසුම් කතා බොරු | VIDEO

Ranil sampanthan agreement is fake

එක්සත් ජාතික පක්ෂ නායකයාගේ අගමැතිකමට සහාය පල කරමින් පාර්ලිමේන්තුවේ ඡන්දය ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුමක් අත්සන් කොට නැති බව ඒ පක්ෂ දෙකම එකහෙලා ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය වරයා ලෙසින් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ  විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව මන්ත්‍රීවරුන් 117 දෙනකුගේ ඡන්දයෙන් 12 බදාදා සම්මත වී තිබුනි.

දෙමළ ජාතික සන්ධානයේ (TNA) මන්ත්‍රීවරුන් 14 දෙනකු ද රනිල් වික්‍රමසිංහට සහාය පල කළ අතර එම පෙරමුණින් පත්වී ස්වාධීන වශයෙන් කටයුතු කරන වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඡන්ද ප්‍රතිපලය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ සහ ආර් සම්බන්ධන් විසින් ඉංග්‍රීසියෙන් අත්සන් තබන ලද ගිවිසුමක් සේ දක්වමින් ඇතැම් ජාතිකවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අතර සංසරණය වූ සිංහල ලියවිල්ල ව්‍යාජයක් බව දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය විසින් දැඩිව ප්‍රකාශ කර තිබේ.

එම ව්‍යාජ ලියවිල්ල මුලින්ම ප්‍රසිද්ධියට පත්කළේ විභාෂණ චන්ද්‍රජිත්කොන්ඩදෙනිය නම් අයකු බව පවසන එජාප මන්ත්‍රී සයිදුල්ලා එම් මරික්කාර් ඒ සම්බන්ධයෙන්පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

“ජාතිවාදය වඩවන්න, ලේ වගුරුවන්න, ජාතීන් හැටියට බෙදන්න, ආගම් හැටියට බෙදන්න, රට අස්ථාවර කරන්න” නිර්මාණය කරන ලද කුට ලේඛනයක් ලෙස ඔහු එය හෙලා දුටුවේය.

තමන් ගොනුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට පවා TNA නායකයා සුදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙටි නිවේදනයක් නිකුත් කරන TNA නායක ආර් සම්බන්ධන් එම ලියවිල්ල ව්‍යාජයක් බව ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති කළේ නීති විරෝධී කටයුත්තක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් අනතුරුව උසාවි භූමියේදී මාධ්‍යවේදීන්කළ විමසීමකට පිළිතුරු දෙමින් එම් ඒ සුමන්දිරන් පැවසුවේ රනිල් වික්‍රමසිංහ ට සහාය දුන්නේ“කිසිදු කොන්දේසියකින් හෝ ගිවිසුමකින් තොරව” බවයි.

දෙමළ ජනතාවගේ විසඳිය යුතු ප්‍රශ්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සමග පමණක් නොව මහින්ද රාජපක්ෂ ද සමගින් TNA සාකච්ඡා පවත්වා ඇති බව සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

කොන්දේසි පනවන්නේ නැතිව එජාප නායකයාගේ අගමැතිකමට සහාය දීම ගැන දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ ඊපීආර්එල්එෆ් ඇතුළු උතුරේ දෙමළ පක්ෂද කිහිපයක්ම දෙමළ ජාතික සන්ධානයට විරෝධය පල කර තිබේ.  

Related posts

Comments are closed.

Top