
රනිල් වික්‍රමසිංහට අගමැති ලෙස විශ්වාසය පල කිරීමට දෙමළ ජාතික සන්ධානය කොන්දේසි පනවා ඇතැයි ප්‍රචාරය කරන රාජපක්ෂවාදී පිල “දෙබිඩ්ඩන්” ලෙස හෙලා දකින ජනතා විමුක්ති පෙරමුණ එවැනි රහසිගත ගිවිසුමක් වේ නම් හෙළිදරව් කළ යුතු බව කියා සිටී.
එවැනි ප්‍රචාර ගෙනයාම රටේ ජාතිවාදය ඇවිස්සීමේ අරමුණ ඇතිව සිදුකරන බව පෙන්වා දෙන ජවිපෙ ප්රචාරක ලේකම්වරයා තමන් සමග හවුල්වන TNA මන්ත්‍රීවරුන් අගය කරන මහින්ද රාජපක්ෂ හිතවාදීන්, ඔවුන් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙනවිට කොටි ලෙසින් ලේබල් කර, හංවඩු ගැසීම දෙබිඩි පිළිවෙතක් බව කියා සිටියේය.
“ඔය කතාව කරන්නේ දෙබිඩ්ඩෝ,” යි විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
“දෙබිඩ්ඩන්ගේ කතාව තමයි TNA එකේ මන්ත්‍රී කෙනෙක් තමන්ට ගන්නකොට ඒක හොඳයි. TNA14 දෙනෙක් අනික් පැත්තට දෙනකොට ඒක කොටි. ඒක අපි පරාජය කරන්න ඕනේ.”
ගිවිසුමක් ලෙසින් ප්රචාරයට පත් කර ඇති ව්‍යාජ ලියවිල්ලේ සඳහන් වන කොන්දේසිම ඉටු කරන බවට රාජපක්ෂවාදීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව ඔහු සිහිපත් කර දුන්නේය.
ජනාධිපතිවරයා තව දුරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය කළහොත් ජනතා නැගිටීම් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවූ විජිත හේරත්, “එවැනි තත්වයක් ඇතිවීමට ඉඩ ලබා නොදෙන ලෙස” ඉල්ලා සිටියේය.