ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව රැකීම ගැන ශ්‍රී ලංකාවට ජගත් සුබපැතුම්

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම දෙයි 2018 දෙසැම්බර් 16

ජනාධිපති වරයා විසින් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව කල් දැමීම සමගින් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට පනස් දිනක් ගතවෙද්දී රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධුරයට පත් වීම ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමක් ලෙස ජාත්‍යන්තර බලවතුන්ගේ ප්‍රසාදය දිනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් විශ්වාසය පලකරන ලද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරය මෛත්‍රිපාල සිරිසේන ගේ දැඩි විරෝධය තිබියදීත් ඉරිදා පෙරවරුවේ අගමැති වශයෙන් දිවුරුම් දුන්නේය.

සති අන්තයේ සිදුවූ දේශපාලන වර්ධනය ඇමරිකා එක්සත් ජනපදය විසින් හඳුන්වා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථානුකුල සම්මතයන් ආරක්ෂා කිරීමක් ලෙසිනි.

කලාපයේ භූ දේශපාලනික ක්‍රියාකාරිත්වයට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සමග දිගටම කටයුතු කිරීමේ අභිලාෂය එක්සත් ජනපදය විසින් පළකර තිබේ.

“ඉන්දු ශාන්තිකර කලාපයේ අගනා හවුල්කරුවකු වන ශ්‍රී ලංකාවේ රජය සහ එරට ජනතාව සමග තවදුරටත් සබඳතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව,” එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වේ.

දේශපාලන අර්බුදය හමුවේ නොසැලී සිටීම සම්බන්ධයෙන් අධිකරණය සහ පාර්ලිමේන්තුව ඉන්දියාවේ, යුරෝපා සංගමයේ හා ඔස්ට්‍රේලියාවේ විශේෂ ගෞරවය හිමිවී තිබේ.

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ නැවත පිහිවන්නට සිදුවූයේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව විසින්  දෙවතාවක්ම විශ්වාස භංගයකින් පරදවා ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුවය.

අගමැති ධුරයේ රනිල් වික්‍රමසිංහ පිහිටුවීමට ජනාධිපතිවරයාට සිදුවීම ඉන්දියාව විසින් හඳුන්වා තිබුනේ “සකල දේශපාලන බලවේගවල  පරිණත භාවය ප්‍රදර්ශනය කිරීමක්” ලෙසිනි.

“එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ එය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වූ ආයතන වල නොසැලෙන සුළු බව පෙන්නුම් කරන්නක්,” ලෙසද ඉන්දීය විදේශ අමාත්‍යාංශ නිවේදනයකින් අගය කර තිබුනි.

“උද්ගත වූ දේශපාලන අර්බුදය ව්‍යවස්ථාවට අනුකුලව සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳා ගැනීම ශ්‍රී ලංකාවේ ස්ථිරසාර මිතුරන් වශයෙන් අපි අගයකරමු,” යි යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“නොසැලී සිටීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ආයතන වෙත අපේ ප්‍රශංසාව හිමිවන අතර ජාතික සංහිඳියාව සහ සැමට සෞභාග්‍යය උදාකර දීමේ සඳහා  දරනු ලබන ප්‍රයත්නයන් සඳහා තවදුරටත් සහාය ලබා දෙන්නෙමු.”

පැවති දේශපාලනික අස්ථාවරභාවය ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීම පිළිබඳව සතුට පල කරන ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයද රටේ ප්‍රජාතාන්ත්‍රික ආයතන නොසැලී සිටීම ගැන ප්‍රසාදය පල කර තිබේ.

පැවති දේශපාලනික අස්ථාවරභාවය ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීම පිළිබඳව සතුට පල කරන ශ්‍රී ලංකාවේඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයද රටේ ප්‍රජාතාන්ත්‍රික ආයතන නොසැලී සිටීම ගැන ප්‍රසාදය පල කර තිබේ.

ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් ශ්‍රේෂ්ඨාධිකරණය අගය කරන තරම ගැන අවබෝධයක් තමන්ට දැනගන්නට ලැබුනේයැයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් ට්විටර් පණිවිඩයකින් පාවසා තිබේ. 

රනිල් වික්‍රමසිංහ අගමැති කමට පත් කළේ කැමැත්තකින් නොවන බව ජනාධිපතිවරයා දැඩි ලෙස ප්‍රකාශ කරයි.

“මගේ පෞද්ගලික දේශපාලන මතය වුණේ 225 මඅත්සන් කලත් රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැතිකම දෙන්නේ නැහැ කියන එක, ඒක එහෙම්ම තමා අදත්,” යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති දිවුරුම් දීමෙන් පසුව පැවති සභාව හමුවේත් කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමට එරෙහිව නැග ආ විරෝධය ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවාදී බලවේග විසින් විසින් හෙලා දකිනු ලැබුවේ “විදේශීය බලවේග වල කුමන්ත්‍රණයක්” ලෙසයි. 

Related posts

Comments are closed.

Top