හිදැස: දේශපාලන අර්බුදයට වගකිවයුත්තන්, TNA “ගිවිසුම්” සහ ජාත්‍යන්තර මැදිහත්වීම

රටේ පවත්නා දේශපාලන අර්බුදය පාදක කර ගනිමින් දමිළ භාෂා පුවත්පත් මගින් ලිපි පළ කරන්නට යෙදිනි. වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් දෙකම මෙම අර්බුදයේ වගකීම ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත පවරා තිබූ අතර, ජනපති විසින් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු යැයි යෝජනා කොට තිබිණි. මේ අතර රජයේ හිමිකාරීත්වය ඇති පුවත්පත වන තිනකරන් මගින් ජනපතිවරයාට සහාය පළ කොට තිබිණි. මෙහිදී පුවත්පත් මගින් ප්‍රධාන ප්‍රවර්ග තුනක් වෙත අවධානය යොමු කොට තිබිණි. ඒවා නම් (1)  දේශපාලන අර්බුදයට එදිරිව විසඳුම, (2) සුළුතරයට ආණ්ඩු නිර්මාණයෙහි ලා ඇති බලය සහ (3) මෙම තත්වය විෂයෙහි ජාත්‍යන්තරයේ ප්‍රත්‍යක්ෂයයි.

දේශපාලන අර්බුදයට එදිරිව විසඳුම

රටේ දේශපාලනමය අර්බුදයක් පවත්නා බව දමිළ භාෂා පුවත්පත් තුනම මගින් සඳහන් කොට තිබිණි. කෙසේ වුවත් මෙම වාර්තාවන් දෘෂ්ටීන් දෙකක් ඔස්සේ වෙනස් වී තිබිණි. එනම් මෙම දේශපාලන අර්බුදයට හේතුව සහ ඒ සඳහා වන විසඳුමයි. මෙම අර්බුදයට හේතුව ජනපතිවරයාගේ ක්‍රියාකලාපය වන බවට වීරකේසරී සහ තිනකුරල් මගින් සිය ස්ථාවරය පවත්වා ගෙන තිබූ අතර, තිනකරන් දැරූ මතය වූයේ මෙම අර්බුදයට හේතුව වන්නේ ජනපතිගේ ක්‍රියාවන්ට විරුද්ධ වූවන් බවයි.

මෙයට විසඳුමක් ලෙසින් තිනකුරල් සහ වීරකේසරී පුවත්පත් දෙකම මගින් පෙන්වා දී තිබුණේ, ජනපතිවරයා විසින් ව්‍යවස්ථාවට -විශේෂයෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට- අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි. මේ අතර තිනකරන් පුවත්පත මගින් සියලුම පක්ෂ සහ පරදු දරන්නන්ගෙන් ඉල්ලා තිබුණේ සාකච්ඡා මේසයට පැමිණ මෙම ගැටළුව මිත්‍රශීලීව විසඳා ගන්නා ලෙසයි.

රජුන් තනන සුළුතරය

සුළුතර පක්ෂ -විශේෂයෙන්ම දමිළ ජාතික සන්ධානය මගින් රඟ දක්වන්නා වූ භූමිකාව දමිළ භාෂා පුවත්පත් මගින් ඉස්මතු කොට දක්වා තිබිණි. දේශපාලන අතිරේකයක වූ ලිපියක් මගින්, රටේ පවත්නා වත්මන් තත්වය අතරතුරදී දෙමළ ජාතික සන්ධානය අති වැදගත් භූමිකාවක් දක්වන්නකු බවට පත්ව ඇත්තේ කෙසේද යන්න විස්තර කොට දක්වා තිබිණි.

මෑතකාලයේදී වීරකේසරී පුවත්පත මෙම තත්වය තුළ නිරන්තරයෙන්ම ප්‍රධාන දමිළ දේශපාලනඥයන්ගේ -විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ- භූමිකාව වෙත අවධානය යොමු කොට තිබූ අතර, එලෙසින්ම වර්තමාන තත්වය තුළදී එය එක්සත් ජාතික පෙරමුණු රජයට සහාය දැක්වීම තෙක් කාලපරිච්ඡේදය වෙතද අවධානය යොමුකොට තිබිනි. වීරකේසරී කතුවැකිය මගින් දෙමළ ජාතික සන්ධානය වර්තමානයේ පවත්නා තත්වය තුළ ගන්නා තීරණය වෙත අවධානය යොමු කර තිබූ අතර, එය වාර්ගික ගැටළුව සඳහා දීර්ඝකාලීන විසඳුමක් ලෙසින් දමිළ ජනතාවගේ ලැදියාවන් වෙත බලපාන්නේ කෙසේද යන කරුණද සාකච්ඡාවට ගෙන තිබිණි.

TNA ගිවිසුම්

2015 ජනවාරි මස ජනාධිපතිවරණයට පෙරාතුව යහපාලන සන්ධානය සඳහා සහාය දීමට ආරාධනා ලැබීමේ සිට දෙමළ ජාතික සන්ධානය විසින් ගනු ලැබූ ඥාණවන්ත පියවර සම්බන්ධයෙන්ද වෙනත් වීරකේසරී මුද්‍රණයක ඉස්මතු කොට දක්වා තිබිණි. මෙම ලිපිය ඔස්සේ තර්ක කොට තිබුණේ 2015 ජනාධිපතිවරණයට පෙරාතුව දෙමළ ජාතික සන්ධානය හා එහි නායක ආර්.සම්බන්ධන් විසින් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ සමගින් ලිඛිත එකඟතාවයකට යෑමට ‍තෝරා නොගත්තේ මන්ද යන්න පිළිබඳවයි. එම ලිපිය  මගින් දක්වා තිබුණේ එවැනි ලිඛිත එකඟතාවයකට සම්බන්ධන් විසින් එකඟ වුණි නම්, එම ගිවිසුම කෙසේ හෝ හෙළිදරවු වනු ඇති බව සහ එහිදී යහපාලන රජයේ නිර්මාණකරුවන් විසින් රට සම්බන්ධන්ට විකිණූ බවට චෝදනා එල්ලවනු ඇති බවත් ය.

දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් පිළිබඳ ප්‍රකාශ සිංහල භාෂා පුවත්පත් මගින් වාර්තා කොට තිබුණත්, දමිළ පුවත්පත් තුළ ඒ සම්බන්ධයෙන් විස්තීර්ණව වාර්තා වී නොතිබුණි. වීරකේසරී පුවත්පත මගින් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කොට තිබුණත්, එක්සත් ජාතික පක්ෂය සමගින් කිසිදු ආකාරයක එකඟතාවක හෝ ගිවිසුමක තමන් සිටිනා බව සම්බන්ධන් විසින් ප්‍රතික්ෂේප කොට තිබිණි.

කෙසේ නමුත් තිනකරන් පුවත්පත මගින් හිටපු උතුරු-නැගෙනහිර මහ ඇමති වර්ධරාජා පෙරුමාල් සමගින් කළ සම්මුඛ සාකච්ඡාවක් ප්‍රකාශයට පත් කොට තිබූ අතර, දෙමළ ජාතික සන්ධානය සෑම විටම එක්සත් ජාතික පක්ෂය හා මිත්‍රත්වයෙන් යුතුව සිටින බව එහිදී වර්ධරාජා විසින් ප්‍රකාශ කොට තිබිණි.

ජාත්‍යන්තර ප්‍රතිචාර

වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව ජාත්‍යන්තරයේ සවිඥානිකත්වයද, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රතිචාරය වෙත නැතිනම් අර්බුදය කෙරෙහි ජාත්‍යන්තරයේ මැදිහත්වීම වෙත අවධානය යොමු කරමින් දමිළ භාෂා පුවත්පත් මගින් දිගින් දිගටම තත්වය ආවරණය කරන්නට යෙදිනි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව මගින් සිදුකළ මැදිහත්වීම වෙත සිංහල භාෂා පුවත්පත් ආවරණයේ අවධානය යොමුව තිබූ අතර, විදෙස් මැදිහත් වීම සඳහා අවකාශය සැපයීම සම්බන්ධයෙන් ඔවුන් එක්සත් ජාතික පක්ෂයටද විවේචන එල්ල කොට තිබිණි.

දමිළ පුවත්පත් සම්බන්ධයෙන් ගත් විටද මෙම දෘෂ්ටිය නිරන්තරයෙන්ම සාකච්ඡාවට ලක්ව තිබිනි. තිනකුරල් මගින් මෙම දෘෂ්ටියේ මුහුණුවර දෙකක් දෙස අවධානය යොමා තිබිනි. එක් ලිපියකින් තිනකුරල් පුවත්පත ප්‍රශ්න කොට සිටියේ, ඉන්දියානු සාගර කලාපයේ ආධිපත්‍යය ලබාගැනීමේ ඉන්දීය සහ චීන තරගකාරිත්වය පසුතලයේ ඇති මොහොතක, ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදය පසුපස ජාත්‍යන්තර බලවේග සිටින්නේද යන්න සම්බන්ධව සහ ඉන්දියානු සාගර කලාපයේ උපක්‍රමික වැදගත්කම හේතුවෙන් ඇතිවී තිබෙන බල අරගලය මධ්‍යයට ශ්‍රී ලංකාව හසුවූවාද යන්න සම්බන්ධවයි.

තිනකුරල් මගින් අවධානය යොමු කොට තිබූ ගැටළුවේ අනෙක් මුහුණුවර වූයේ මෙම දේශපාලන අර්බුදය උද්ගත වූ මොහොතේ සිට ඉන්දියාව පවත්වාගෙන යන නිහඬතාවයි. උක්ත සඳහන් කළ ලිපිය මගින් ප්‍රශ්න නගා තිබුනේ, රටේ ව්‍යවස්ථාවට සහ එහි නීතියට විරුද්ධව ක්‍රියා කළ යම් පුද්ගලයකුට (මෙහිදී එම පුද්ගලයා වන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන බව නොකියා කියා ඇත) චීනය විසින් සහාය ලබාදෙන බව දැන දැනම ඉන්දියාව නිහඬව සිටින්නේ මන්ද කියායි. එසේම මෙම ලිපිය මගින් පෙන්වා දී තිබුණේ බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා කැනඩාව ඇතුළු අනෙකුත් රටවල් උක්ත කී ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග හෙළා දැක ඇති බවයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top