පරික්ෂණයක් සිදුවිය යුත්තේ ‘දෙමළ ජනයාගේ අවශ්‍යතාව අනුවයි’

Disappearance 640

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කොට ඇති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් වාර්තාව මත පදනම්ව ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන කවර හෝ විසඳුමක් යුද්ධයෙන් පීඩාවට සහ එහි ගොදුරු බවට පත්වු උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉල්ලීම් සහ අවශ්‍යතාවයන් මත පදනම්ව සකස් විය යුතු යැයි සරසවි ඇදුරන්  පිරිසක් කියා සිටිති.

අධිකරණයේ ස්වාධීනත්වය

ශ්‍රි ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය පිළිබඳව සැක සංකා මතුව ඇති මොහොතක හුදු දේශිය යාන්ත්‍රණයකින් පමණක් යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනතාවට යුක්තිය ඉටු කරන්නේ කෙසේදැ’යි කොළඹ, යාපනය, නැගෙනහිර, මොරටුව, පේරාදෙණිය, කැළණිය සහ විවෘත විශ්ව විද්‍යාලයන් හි ආචාර්යවරු 41 ක් ප්‍රශ්න කරන්නේ විවෘත ලිපියක් මගිනි.

එසේම 2009 යුද්ධාවසානයෙන් පසුව ශ්‍රි ලංකා රජය වාර්ගික සමගිය ඇති කිරිමෙහිලා අසමත්ව ඇති බව පෙන්වා දෙන ඔවුන්  පවසන්නේ දෙමළ ජනතාවගේ  කවර  හෝ ඉල්ලීමක් සම්බන්ධව මැදිහත්වීමට ගත් සියළු උත්සාහයන් ව්‍යවර්ථ වී ගියේ ඒවා ‘ජාත්‍යන්තර කුමන්ත්‍රණ, දේශද්‍රෝහී ක්‍රියා මෙන්ම ආණ්ඩුව අස්ථාවර කිරිමට කරන්නාවු දෑ’ ලෙස හුවා දැක්වීම නිසා බවය.

මුහුණ දෙන්න

කෙරෙන්නාවු කවර හෝ විමර්ශනයක් අපක්ෂපාතී මෙන්ම යුක්ති සහගත එකක් විය යුතු යැයි  කියා සිටින  අත්සන්කාර විශ්ව විද්‍යාල ආචාර්යවරු  යුද්ධයෙන් පිඩාවට පත් ජනතාවගේ ඉල්ලිම් සහ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛතාවය හිමිවිය යුතු බවටද අවධාරණය කරති.

යුද්ධයේ බලපෑමට ලක්වූ ජනතාව ට යුක්තිය ඉටු කිරීම හෝ ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම හුදු දේශීය පරීක්ෂණයක් මගින්  සිදු නොවන බව පවසා සිටින ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ ජාත්‍යන්තර සහභාගිත්වයක් තිබු පමණින් එය සාක්ෂාත් කර ගත නොහැකි බවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර් සම්බන්ධන්, විදේශ අමත්‍ය මංගල සමරවීර මෙන්ම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් වෙතද යොමු කොට ඇති නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වෙනුයේ යුද සමයෙහි සිදු කැරුණු  මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ පරික්ෂණයන්ට ශ්‍රි ලංකා රජය මුහුණ දිය යුතු බවයි.

මේ වනවිටත්, පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා අරඹා ඇති බව රජය ප්‍රකාශ කර තිබේ.

 

Related posts

Comments are closed.

Top