හතලිහකට වැඩි වධකාගාර හා හැටකට එහා වධකයන් ගැන අලුත් තොරතුරු  

torture sites

දීප ව්‍යාප්තව ශ්‍රී ලංකාවේ  පවත්වාගෙන යනු ලබන වධ කඳවුරු හතළිහකට අධික සංඛ්‍යාවක් තුල පමුණුවනු ලබන ලිංගික වධ හිංසා පිලිබඳ චෝදනා සමගින් කම්පා කරවන සුළු විස්තර රැගත් වාර්තාවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් එලි දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ වාර්තාව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ඉල්ලීම පරිදි සකස්  කළ මර්සුකි දරුස්මාන්ගේ නායකත්වයෙන් යුත් විශේෂඥ මණ්ඩලයේ සාමාජිකා යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය (ITJP) විසින් සම්පාදිත අලුත්ම වාර්තාවෙන් පැවසෙන්නේ හිංසකයන් හා වධකයන් හැටකට වැඩි පිරිසකගේ නම් ගම් තමන් විසින් හෙළිදරව් කරගෙන ඇති බවයි.

එය අංග සම්පූර්ණ ලැයිස්තුවක් නොවන බව පවසන ITJP සංවිධානය සාක්ෂි කරුවන්ගේ ආරක්ෂාව තකා දැනට සියලු නම් හෙළි කිරීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කරයි. “සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන නිත්‍යානුකූල යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කෙරුණු විටෙක,” තමන් සතු සියලු අපරාධ කරුවන්ගේ නම් හෙළි කිරීමට සුදානම් බවයි ITJP ප්‍රකාශිකා ෆ්‍රාන්සස් හැරිසන් ගගන ට කියා සිටියේ.

යුද හමුදාවෙන්  තොරතුරු

abductions mapලිංගික වධ ඇතුළු අඩන්තේට්ටම් වලට ලක් වුවන්, පැහැරගෙන යනු ලැබුවන් මෙන්ම පැහැරගැනීම් සහ හිංසනයට  සම්බන්ධ යුද හමුදා සහ පොලිස් සාමාජිකයන් සැපයූ සිදුවීම් 180 කට  අදාළ තොරතුරු වාර්තාවට ඇතුලත් කොට ඇති බව ITJP පවසයි.

‘බරපතල පහරදීම්, සිර කර තබා ගැනීම්, කල්ලි ගැසී දුෂණය කිරීම්, අතුරුදහන් කිරීම් සහ මරණය පවා,’ පිළිබඳව තොරතුරු තමනට සපයා ඇති බව පවසන ITJP සංවිධානය ඒ බොහොමයක් දෙනා උතුරේ වෙසෙන තම ඥාතීන් දඩයමට ලක්වීමේ අවදානම පිළිබඳව මහත් බියෙන් පසුවන බවට අනතුරු අඟවයි.

සුදු වෑන් පැහැරගැනීම් 100ක්

අලුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වූ දායින් පසුවත් සිදු කරන ලද  වධ බන්ධන හා ලිගික හිංසන අටක්  පිලිබඳ විස්තරද තමන් වෙත වාර්තා වී ඇති බව ITJP පවසයි. එයින් මෑතම සිදුවීම ජූලියේය. 2009 සිට මේ දක්වා සිදුවූ සුදු වෑන් පැහැරගැනීම් සියයක විස්තරද ඔවුන් වෙත ලැබී තිබේ.

පැහැර ගැනීම් සම්බන්ධයෙන් කරන ලද විස්තර  වලදී බොහෝ විට සඳහන් වී ඇති  ‘ජෝසප් කෑම්ප්’ නමින් හැඳින්වෙන වවුනියාවේ ඒකාබද්ධ හමුදා අණදෙන මුලස්ථානය සුදු වෑන් හතරක් ඒ සඳහා යොදාගත් බව ආරක්ෂක හමුදා සාමාජිකයකු ITJP වෙත පවසා ඇත. ඔහු කියා ඇති පරිදි මේ වෑන් වල අංක තහඩු නොතිබුණු අතර පසුපස සහ පැති වීදුරු කළු කර තිබේ. තමන් හඳුනා ගනු ලැබීම හෝ පසු කලෙක නඩු පවරනු ලැබීම ගැන කවරාකාර හෝ සැක සාංකාවක් නොතිබූ හෙයින් කිසිවිටෙකත් මුහුණු ආවරනය නොකළ බවද ඔහු කියා ඇත.

මේජර් ජනරාල් අමල් කරුණාසේකර ජෝසප් කඳවුරේ වත්මන් ආඥාපති වන අතර 2009 පටන් එහි අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කර ඇත්තේ බොනිෆස් පෙරේරා, සුමේධ පෙරේරා, කමල් ගුණරත්න සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මේජර් ජනරාල් වරුන්ය.

රහසිගත කඳවුරක්

වාර්තාවේ නම්කොට ඇති  වධකාගාර 48 අතර ත්‍රිකුණාමල වරාය සංකීර්ණයේ වනගත කඳුගැට මත පිහිටි රහසිගත කඳවුරක විස්තරද ඇතුලත් වෙයි. 2010 දක්වා එහි අණදෙන නිලධාරියා ලෙස සාක්ෂිකරුවන් විසින් නම් කොට ඇත්තේ ලුතිනන් කොමදෝරු කේ සී වෙලගෙදරය. දිවි ගලවාගත්තවුන් ලබාදුන් තොරතුරු ඇසුරින් ITJP පවසන්නේ ඉන් අනතුරුව ලුතිනන් කොමදෝරු රණසිංහ කඳවුරේ ප්‍රධානියා වූ බවයි. වධකාගාර ලෙස නම්කොට ඇති තැන් බොහොමයක් තිබෙන්නේ උතුරු නැගෙනහිරය.

secret camp

විසි අටදෙනකුගේ අතුරුදහන් කිරීම් පිළිබඳව සැකපිට හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක, ලුතිනන් කොමදෝරු සම්පත් මුණසිංහ, රණසිංහ ආරච්චිගේ හෙට්ටිආරච්චි සහ රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ යන සිව්දෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ වසරේ අප්‍රේල් මාසයේදී විදේශ ගමන් තහනමක් පනවන ලදී.

ශවේන්ද්‍ර සිල්වා

යුද්ධයේ අවසාන අදියරේදී රජයේ හමුදාවට භාරවූ විමුක්ති කොටි සාමාජිකයන්  මරා දැමීමේදීත්, ඔවුන් ලිංගික වද හිංසාවට ලක් කිරීමේදීත්, ශවේන්ද්‍ර සිල්වා ඇතුළු මේජර් ජනරාල් වරුන් තිදෙනකු සටන් පෙරමුණේ සිටි බව හමුදා සාමාජිකයකු කීවේ යැයි ITJP වාර්තාවේ දැක්වේ. සුදු කොඩි ඔසවාගෙන පැමිණ යුද හමුදාවට භාරවීමෙන් අනතුරුව මරා දමනු ලැබූ බව වාර්තා වී ඇති එල්ටීටීඊ නායකයන් භාර ගන්නා ලද්දේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය විසිනැ’යි පවසන ලද බවද වාර්තාවේ සඳහන් වේ.

ත්‍රිකුණාමල රහස් කඳවුරේ පිහිටීම දැක්වෙන චන්ද්‍රිකා සිතියමක්ද, රජයේ නිල මධ්‍යස්ථාන ඇතුළු වධකාගාර ලෙස හඳුනාගත් ස්ථාන වල ලැයිස්තුවක් සහ සිතුවමක් ද, සාක්ෂි සටහන් ගණනාවක්ද, ITJP විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවට ඇතුලත් වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන රහසිගත කඳවුරු නැති බවයි.  ඕනෑම තැනක ගොස් ඒ පිලිබඳ සොයා බැලිය හැකි බව මාර්තු මස අගදී උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් ඔහු කියා සිටියේය.

 

 

 

 

 

Related posts

Comments are closed.

Top