යුද ගැටුම් සහ වද හිංසාවෙන් පලා යමින් දේශපාලන රැකවරණ පතන හෝ උන්හිටිතැන් අහිමිව සිටින ලෝකවාසී ජන සංඛ්‍යාව කෝටි හය ඉක්මවා ගොස් සිටිතැ’යි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ජිනීවා නුවර අද ඇරැඹී අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරයාගේ විධායක කමිටුවේ 66 වැනි සැසිවාරයේ සමාරම්භක දේශනය පවත්වමින් මහ කොමසාරිස් අන්තෝනියෝ ගුතෙරෙස් (António Guterres) ප්‍රකාශ කළේ තමන් දස වසරකට පෙර ධුරයේ වැඩ භාරගත් අවධියේ ලෝක අනාථ ප්‍රජාව තුන්කෝටි අසූ ලක්ෂයක් පමණක් වූ බවය.
පසුගිය අවුරුදු පහ ඇතුලත අලුතින් යුද්ධ පහළොවක් ඇවිලී ඇති මුත් පැරණි ගැටුම් එකක්වත් විසඳි නැතැයි මහ කොමසාරිස් වරයා කනගාටුව පල කළේය.
ඒනිසා එක දවසක් තුලදී යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවන සංඛ්‍යාව 2010 තිබුනාට වඩා සිව් ගුණයකින් ඉහල ගොස් ඇති බව මහ කොමසාරිස් ගුතෙරෙස් පැවසීය.
ග්‍රීසියට පමණක් පැමිණි යුද අනාථයන් සංඛ්‍යාව 2014 මෙන් දස ගුණයත් ඉක්මවා හතලිස් දහස දක්වා ඉහල ගොස් ඇතැයි කී මහ කොමසාරිස්වරයා දැනුම් දුන් පරිදි ඒ වැඩි දෙනා පැමිණෙන්නේ ඉරාකයෙන්, සිරියාවෙන් සහ ඇෆ්ගනිස්තානයෙනි.
දේශපාලන විසඳුමක් පිලිබඳ බලාපොරොත්තුව ගිලිහී යාමත්, කාලාන්තරයක් පිටුවහලේ ජීවත්වන්නට සිදුවීම නිසා අතමිට හිඟ වීමත්, ලැබිය යුතු තරම් මානවීය ආධාර නොලැබී යාමත් අනාථයන්ගේ තත්වය බරපතල පිරිහීමට ලක්ව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
ආධාර නොලැබී යාම නිසා ලෝක ආහාර සංවිධානයට සිය ව්‍යාපෘති වලින් තුනෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක් කපාහරින්නට සිදුවීමත සමග, ජාත්‍යන්තර ප්‍රජාව තමන් අතහැර යාම අරඹා ඇතැයි සිතන්නට අනාථයන් පෙළඹී ඇතැයි මහා කොමසාරිස් වරයා අනතුරු ඇඟවීය.
එසේ වෙතත්, දැවැන්ත අන්තරායකට මුහුණ දෙමින්, විශාල වියදමක් දරා අනාථයන් කන්දරාවක් තවමත් යුරෝපයට ඇදී එන බව කී මහ කොමසාරිස් අන්තෝනියෝ ගුතෙරෙස් ‘ඇත්තටම කියනවානම්, මේ තත්වයන් යටතේ මමත් මගේ පව්ලේ උදවියත් කරන්නට පෙළඹෙන්නේ ඒකම තමයි,’ යනුවෙන් සභාවට පැවසීය.