ක්‍රිස්තියානි විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ‘නැවතී නෑ’

Wadduwa evangelical

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වූ ජනවාරියේ සිට ගතවූ මාස නමයක කාලය තුළදීත් කිතු බැතිමතුන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා දිගටම සිදුවීම පිලිබඳ තොරතුරු ක්‍රිස්තියානි ආගමික සංවිධානයක් විසින් හෙළිකොට තිබේ.

බෞද්ධ නොවන ආගමිකයන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකෙරුනු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එම රජය පියවර නොගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් කිහිපවර හෙලා දැක තිබේ.

බෞද්ධ ආයතන විසින් ක්‍රිස්තියානි දේවස්ථාන සහ දේවගැතිවරුන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියා සිදු කිරීමට අමතරව පොලිසිය සහ රජයේ බලධාරීන්ද කිතුනුවන්ට අඩන්තේට්ටම් කරන බව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය පවසයි.

හැටකට වැඩි සිදුවීම්

එම සන්ධානය විසින් ගොනු කර ඇති වාර්තා අනුව මේ වසරේ සැප්තැම්බරය දක්වා කාලය තුල සිදුවීම් සංඛ්‍යාව හැටකට වැඩිය.

ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානයේ ප්‍රකාශිකාවක් කියා සිටියේ සිදුවූ ගැහැට සියල්ලම පිළිබඳව පාහේ පොලිසියට පැමිණිලි කොට ඇතත් මේ තාක් කිසිවකු අත් අඩංගුවට ගෙන නැති බවය.

ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩු ගොනු කොට ඇති වග ගගන ට පැවසූ ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානයේ ආගමික නිදහස පිළිබඳ කොමිසමේ නීතිවේදිනී යාමිනි රවීන්ද්‍රන්, අපරාධ නඩු පැවරීම සඳහා පොලිසිය මෙහෙයවා ගන්නට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවූ බව කියා සිටියාය.

ඔක්තෝබර් මාසයේ පළමු දින දහය තුලදී පුත්තලමේ කරුවලගස්වැවත්, මොණරාගල සෙවනගලත් දේවස්ථාන දෙකකට එරෙහිව ප්‍රචණ්ඩතාව මුදා හැර ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.

මේ වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා තුන් මාසය තුල සිදුවීම් දාහතරක් ධර්මදාන සන්ධානය විසින් වාර්තා කොට තිබේ.

කෑගල්ල, බුලත්කොහුපිටිය, බෙලිඅත්ත, බණ්ඩාරගම, නෙළුව මඩකලපුව සහ මඩු යන ස්ථාන වලින් එම සිදුවීම් වාර්තා වූ බව ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය පවසයි.

Calvary church 2014

2014 ජනවාරියේ ප්‍රචණ්ඩ බෞද්ධ කල්ලියක් විසින් හික්කඩුවේ කල්වාරි දේවස්ථානයට පහර දීමෙන් පසු

පොලිසියේ බලහත්කාරය

ඒ අතරින් ගාලු දිස්ත්‍රික්කයේ නෙළුව පිහිටි දකුණු ඉන්දීය සභාවට අයත් දේවස්ථානයකට අගෝස්තු 2 ඉරිදා උදේ කඩා වැදුණු බෞද්ධ භික්ෂුන් ඇතුළු කණ්ඩායමක් දේවගැතිවරයාටත්, ඔහුගේ බිරිඳටත්, දේව මෙහෙයට පැමිණි බැතිමතුන්ටත් පහර දී තිබේ.

ඉන් පසුව පළාත් සභාවේ සභාපති, ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩල ලේකම් සහ බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ ගම්වාසීන් කැඳවා සහකාර පොලිස් අධිකාරීවරයකු සිදුකොට ඇත්තේ ඉදිරියේදී ආගමික කටයුතු අත් හිටුවන බවට දේවගැතිවරයාගෙන් බලහත්කාරයෙන් ලියවිල්ලකට අත්සන් ගැනීම බව ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය පවසයි.

එයින් සතියකට පසු දේවගැතිවරයා නොසිටි අවස්ථාවක පැමිණ ඡායාරූප ගත් ප්‍රාදේශීයලේකම් කාර්යාලයේ දෙදෙනකු ආගමික කටයුතු අත් හිටුවන ලෙස දේවගැති බිරිඳට තර්ජනය කර ඇත.

Man praying 640

අගෝස්තු සැප්තැම්බර් දෙමාසය තුලදී කෑගල්ලේ යහපත් එඬේරාගේ ශුභාරංචි මධ්‍යස්ථානයට බලධාරීන්ගෙන් සහ පොලිසියෙන් පස් වතාවක් හිරිහැර සිදුවී තිබෙන බව වාර්තාවේ දැක්වේ.

බෞද්ධ අන්තවාදය

කිතු බැතිමතුන්ට එරෙහි මෙවැනි අඩන්තේට්ටම් ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය විසින් දිගටම වාර්තා කොට තිබේ.

එහි ප්‍රකාශිකා යාමිනි රවීන්ද්‍රන් ගගන ට කියා සිටියේ පෙර පැවති රාජ්‍ය අනුග්‍රහය වත්මන් පාලනය යටතේ නොලැබී ගිය සෙයක් පෙනෙන හෙයින් බොදු බල සේනා සහ රාවනා බලය වැනි අන්තවාදී බෞද්ධ සංවිධාන එළිපිට ගෙනගිය වෛරී ප්‍රචාරය යටපත් වී තිබුනත්, ප්‍රාදේශීය සිංහල බෞද්ධ බලවේග වල අන්‍යාගම් විරෝධී ප්‍රචන්ඩතාවල අඩුවක් නැති බවයි.

Related posts

Comments are closed.

Top