හිටපු ජනපතිගේ විරෝධතාවයෙන් ජනාධිපති කොමිසම කල් දමයි

mahinda-rajapaksa1-640x400

මහාධිකරණ විනිසුරුවරුන් බරපතල වංචා සෙවීමේ ජනපති කොමිසමට පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසමින් හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරුන් විරෝධතාවක් ගොනුකිරීම නිසා කොමිසමේ කටයුතු තාවකාලිකව කල් දැමීමට සිදුවිය.

ඒ අනුව කොමිසම අද (16) නැවත රැස්වීමට නියමිතයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (15) පෙරවරුවේ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියහ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන මහජන සාක්ෂි විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මොවුන් ජනාධීපති කොමිසම වෙත කැඳවා තිබිණි.

අදාළ සිද්ධියේ වගඋත්තරකරුවන්ගේ පාර්ශවයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොමිසමට පැමිණ ඇති අතර, මහජන සාක්ෂි ලබාදීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැමිණ තිබේ.

මීට අමතරව ස්වාධීන රූපවාහිනී ආයතනයේ හිටපු සභාපති, හිටපු සාමාන්‍යාධිකාරී සහ හිටපු අලෙවි කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඊයේ (15) ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියහ .

Related posts

Comments are closed.

Top