සංක්‍රාන්තික ලිංගිකයෝ වෙනම හැදුනුම්පතක් ඉල්ලති

unnamed

ස්ත්‍රී හෝ පුරුෂ නොවන තමන්ගේ අනන්‍යතාවය දැක්වෙන හැදුනුම්පතක් නිකුත් කරන්නැයි සංක්‍රාන්තික ලිංගිකයෝ  රජයෙන් ඉල්ලා සිටිති.

 

ඔවුන් පවසන්නේ ලිංගික අවයව වෙනස් වීමෙන් පසුව තමන්ට ඊට පෙර රජයෙන් නිකුත්  කළ පුද්ගල හැදුනුම්පත භාවිතා කිරීමේදී  ගැටලු රාශියක මුහුණ දීමට සිදුවන බවයි.

 

ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සදහා වු මධ්‍යස්ථානයේ නියෝජිතයන් 19 සදුදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී ජනමාධ්‍යවේදීන් මුණගැසුණු අවස්ථාවේදී සංක්‍රාන්තික ලිංගික ශ්‍රමික කාන්තාවක් වු සකුණි මායාදුන්න මෙම ඉල්ලීම ඉදිරිපත් කළාය.

 

එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ තම හැදුනුම්පතේ සදහන් නම ප්‍රදීප් බවත් තමන්ගේ ලිංගික අවයව වෙනස් වී කාන්තාවක් බවට පත්වීමෙන් පසුව තමන් සකුණි මායාදුන්න ලෙස නම භාවිත කරන අතර  දෛනික අවශ්‍යතා සදහා පුද්ගලික හැදුනුම්පත ඉදිරිපත් කිරීමට යාමේදී තමන් මහත් දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවයි.

 

මෙය සියලුම සංක්‍රාන්තික ලිංගිකයන්ට පොදු ප්‍රශ්නයක් බව ඇය පෙන්වා දේ.

 

 

ගණිකා වෘත්තිය නිති විරෝධි නැහැ

 

සමාජ ක්‍රමයේ පවතින වැරදි  සහ පිරිමින්ගේ වැරදි හේතුවෙන් තමන් ගණිකා වෘත්තියට ඇදවැටුන බව පැවසු ලිංගික ශ්‍රමික කාන්තාවන් එහිදී රජයෙන් ඉල්ලා සිටියේ එම වෘත්තියේ නියැලීම හේතුවෙන් සමාජයෙන් එල්ලවන තාඩන පීඩන අවම කිරීම සදහා ගණිකා වෘත්තිය නීති ගත කර දෙන ලෙසයි.

 

ශ්‍රී ලංකාවේ පවතින නිතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීම නිති විරෝධි නැති බව ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සදහා වු මධ්‍යස්ථානයේ මාධ්‍ය කැදවුම්කරැ නිතිඥ තුෂාර එන් දස්කොන් පැවසූ අතර ඔහු අවධාරණය කර සිටියේ ගණිකා නිවාස ආඥා පනත යටතේ ‘ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම සහ කළමනාකරණය කිරීම ‘ පමණක් නිති විරෝධි ලෙස දක්වා ඇති බවයි.

 

ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සදහා වු මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නිතීඥ සේනක පෙරේරා පවසා සිටියේ මෙම සංවිධානය ගණිකා වෘත්තිය ප්‍රවර්ධනය කිරීමේ සංවිධානයක් නොවන බවත් කෙටි කාලයක් සදහා හෝ මෙම වෘත්තියේ යෙදි සිටින්නන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනි සිටීම සංවිධානයේ  අරමුණ බවයි.

 

රුපියල් 100 ක දඩයක්‍

 

‘පාදඩ ආඥා පනත ‘ සහ ‘අයාල පනත ‘ උපයෝගී කරගනිමින් ලිංගික ශ්‍රමික කාන්තාවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී නියම කරන දඩය රුපියල් 100 ක් වුවත් අධිකරණ ක්‍රියාවලිය තුලදී එම කාන්තාවන්ට විශාල අවමානයක් සිදුවන අයුරින් පොලිසිය ක්‍රියා කරන බව පවසන එම සංවිධානයේ නිතී උපදේශක ලක්ෂාන් ඩයස් පවසන්නේ ලිංගික ශ්‍රමික කාන්තාවන් ආමන්ත්‍රණය කිරීම සදහා සමාජය භාවිත කරන වචන ඉතා පහත් මට්ටමක පවතින බැවින් එම වචන ඉවත් කිරීමට කටයුතු කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවයි.

 

තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණයන් සිදුවු බවට මානව හිමිකම් කොමිසමට සහ ශේෂ්ඨාධිකරණය හමුවට වානිජ ලිංගික ශ්‍රමික කාන්තාවන්ට යාමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම වෙනුවෙන් තම සංවිධානය කැපවන බවද නිතිඥ ඩයස් පවසයි.

 

බාධක මැඩලිය යුතුයි

ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් සුරකිම සදහා යන ගමනේදී ඇති වන බාධක ගැන බිය නොවී එම බාධක වලට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට යා යුතු බව මාධ්‍ය හමුවට සහභාගී වූ  නව සම සමාජ නායකයා පැවසීය.

 

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නීති සකස් කිරීමට විරුද්ධ වන්නේ මෙම කාන්තාවන් උපයෝගි කරගනිමින් ඔවුන් වහල් සේවයේ යොදවා සිටින ව්‍යාපාරිකයන් බවයි.

 

සමාජයේ යටිතලයේ පමණක් රහසිගතව කතාබහට ලක්ව ඇති ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් පිලිබඳ සාකච්ඡාව කරලියට ගෙන ඒම තුලින් එම කාන්තාවන්ට සාධාරණයක් ඉටු කළ හැකි බව ඔහු පවසයි.

 

 

Related posts

Comments are closed.

Top