‘ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට මැතිසබේ සහාය දෙන්න එපා’ මහින්ද

mahinda-maithri- at PM sworn

අගමැති දිවුරුම් දුන් දා සේයා: ජනාධිපති මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරගත් යෝජනාව ක්‍රියාවේ යෙදැවීමට සහාය නොවන ලෙස හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති දෙදින විවාදයට සහභාගී නොවී ඊට දවසකට පසු 25 ඉරිදා කොළඹ අභයාරාම විහාරස්ථානයට කැඳවනු ලැබූ පිරිසක් අමතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ රජය පිහිටුවන්නට අපේක්ෂා කරන ආයතන පද්ධතිය ට තමන් එකහෙලාම විරුද්ධ වන බවයි.

රජය සැරසෙන්නේ රටේ දැනට පවතින යුක්තිය පසිදලන ආයතනවලට පරිබාහිරව ‘යුද අපරාධ අධිකරණ’ පද්ධතියක් පිහිටුවා ‘ඇස්, ඉස්, මස්, ලේ දන් දුන් රණවිරුවන්’ ලෙසින් ඔහු විසින් හඳුන්වනු ලැබූ යුද භටයන් දඩයම් කිරීමට බවට හිටපු ජනාධිපති වරයා චෝදනා කර ඇත.

පාර්ලිමේන්තු බලය

එමනිසා නව අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි මහින්ද රාජපක්ෂ පෙන්වා දී ඇත්තේ රජයේ සැලසුම් ව්‍යවර්ත කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙන බවයි.

“රණවිරුවන් දඩයම් කිරීම අරමුණු කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කිසිදු පනතක් සම්මත කිරීමට ඉඩ නොතබන මෙන් මම සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පක්‍ෂ භේදයකින් තොරව ඉල්ලා සිටිනවා,” යි ඔහු ආයාචනයක් කළ බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය විසින් ලබාදුන් නිල නිවේදනයක දැක්වේ.

කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ ප්‍රධානීන් දිගටම සහතික වුයේ යුද්ධයේදී සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් පියවර ගැනීමට දේශීය අධිකරණ ක්‍රියාවලියක් ම යොදා ගන්නා බවටයි.

ජිනීවාහි සම්මත කොටගත් ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම,’ යෝජනාවේ කියැවෙන්නේ ද මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝන පිලිබඳ විමර්ශනයට ස්ථාපිත කළ යුත්තේ ශ්‍රී ලාංකික අධිකරණ ක්‍රියාවලියක් බවයි.

‘දොට්ට දැමීම’

එම සහතික බැහැර කරන හිටපු ජනාධිපතිවරයා, ‘යුද්ධයේ අවසන් අදියර නැවැත්වීමට උත්සාහ ගත් රටවල් සමූහය’ විසින් සපයනු ලබන ‘විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්’ ගෙන්වා විදේශීය මුදලින් නඩත්තු කෙරෙන ලංකාවේ යුද අධිකරණයකින් රජයේ හමුදා භටයන්ට යුක්තිය ඉටු නොවන බවට බිය පළ කොට තිබේ.

පිහිටුවනු ලබන අධිකරණය පද්ධතිය මගින් වැරදි කරුවන් කළ නොහැකි හමුදා භටයන් ‘පරිපාලන ක්‍රියාදාමයක්’ මගින් ‘ආරක්ෂක හමුදා වලින් දොට්ට දැමීමට’ පියවර ගනු ඇතැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනතුරු අඟවා ඇත.

වාසිදායක කරුණු

අතුරුදහන් වුවන් සොයාගැනීම වෙනුවෙන් 2013 දී පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම කොමිසමට ජාත්‍යන්තර යුද නීතිය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට විදේශීය නීති විශාරදයන් ගෙන්වා ගත් නුමුත් එය විමර්ශන කොමිසමක් මිස අධිකරණයක් නොවන බව ඔහු පෙන්වා දී තිබේ.

ඒ හැම අදහස් දැක්වීමක්ම ශ්‍රී ලංකාවට වාසිදායක වූ බව කී මහින්ද රාජපක්ෂ ” විදේශීය නීති විශාරදයින්ගෙන් අපේ පැත්තට කීමට ඇති කරුණු ලබා ගැනීමත් විදේශීය විනිශ්චයකාර වරුන් ලවා අපේ රටේ රණවිරුවන්ට එරෙහිව නඩු විභාග පැවැත්වීමත් අතර වෙනස ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතු,” යයි අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, යුද අපරාධ සම්බන්ධයෙන් රජය විසින් ස්ථාපිත කරන්නට සැරසෙන්නේ විදේශීය අධිකරණයක් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ කී බවක් ඔහුගේ ප්‍රකාශය සහිතව මාධ්‍ය ඒකකය විසින් නිකුත් කොට ඇති නිවේදනයේ සඳහන් නොවේ.

‘ජිනීවා යෝජනාවට මුහුණ දීම’ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පක්ෂ නායකයන් ගණනාවක් කොළඹට කැඳවා තිබුනේ අභයාරාම රැස්වීමට දින තුනකට පෙරය.

 

 

 

Related posts

Comments are closed.

Top