හම්බන්තොට වරාය නැටුම් ගැන රංග වේදීන් ගෙන් දිගටම විමසුම්

 

With jakcson

මහින්ද රාජපක්ෂ රජයේ එක් මහා පරිමාණ ව්‍යාපෘතියක් වූ හම්බන්තොට වරායට වතුර පිරවීමේ උත්සවයේ නැටුම් ගැයුම් සංවිධානය කළ ජැක්සන් ඇන්තනි මහා පරිමාණ දුෂණ වංචා විමර්ශන කොමිසමට කැඳවා තිබේ.

මීට පෙර තවත් නර්තනවේදීන් ද ජනාධිපති කොමිසමට කැඳවා තිබුණි.

මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය ලෙස නම් කොට හම්බන්තොට වරායට දිය ගෙන ඒම සඳහා 2010 නොවැම්බර් 18 දා පැවති උත්සවයේ ප්‍රාසාංගික කටයුතු මෙහෙයවන ලද්දේ ජැක්සන් ඇන්තනි ගේ ප්‍රධානත්වයෙන් යුත් ආයතනයක් විසින් බව පාර්ලිමේන්තුවේදී හෙළි විය.

‘කරදියවර මංගල්‍යය’ නම්වූ එම උත්සවය සදහා රුපියල් තුන්කෝටියකට අධික මුදලක් වැයවූ බව වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන 2011 පෙබරවාරියේදී  පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබිනි.

ජැක්සන් ඇන්තනි කළමනාකරණ අධ්‍යක්ෂක ධුරය දරන ක්‍රියේටිව් හෙලන්කා ආයතනයට එම උත්සවය සදහා ගෙවන ලද මුළු මුදල රුපියල් එක්කෝටි අසූ එක් ලක්ෂ හැට හත්දහස් පනහක් බවයි අමාත්‍ය වරයා කියා සිටියේ.

Magampura opening

චන්නට උපුලීට ලක්ෂ 69 ක්

මේ අතර හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සව රංගනයක් සඳහා රුපියල් හැටනවලක්ෂයකට ආසන්න මුදලක් ලබාගත් බව ප්‍රකට නර්තන ශිල්පීන් යුවලක් පවසයි.

ඉකුත්දා බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසම  වෙත කැඳවන ලදුව තමන් ඒ පිලිබඳ සියලු තොරතුරු ලබා දුන් බව චන්න උපුලී රංගායතනයේ හිමිකරුවන් වන චන්න විජේවර්ධන සහ උපුලී පනීභාරත මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක් මගින් පවසා ඇත.

‘හම්බන්තොට ඓතිහාසික කථා පුවත’ නමින් 2010 අගෝස්තු 15 දා කරණ ලද රංගනයක් වෙනුවෙන්  ලබාගත් ලක්ෂ 6,888,125 ක මුදලකට අදාල ලියකියවිලි මේ මස 22 දා  ජනාධිපති කොමිසම අත පත් කළ බව පවසන  නර්තනාචාර්ය දෙපල,  ප්‍රතිපත්තියක් ලෙස රාජ්‍ය උත්සව වලට නොමිලේ සිදුකරන පරිද්දෙන් හම්බන්තොට  වරායෝත්සවයටද  තමන් විසින් ඇඳුම් හා නර්තන නිර්මාණ සිදුකරන ලැබුවේ නොමිලේ බවද අදාල නිවේදනයේ දැක්වේ.

වියදම් වූ හැටි

හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවය සඳහා රංගන ශිල්පීන් ශිල්පිනියන් 200 ක් සහභාගි කරවීම, ඇඳුම් පැළඳුම් හා ආභරණ  200ක් නිර්මාණය කිරීම රංග භාණ්ඩ නිර්මාණය, වේශ නිරූපන ශිල්පීන් හා කොණ්ඩා මෝස්තර නිර්මාණ ශිල්පීන්ට ගෙවීම, ශිල්පීන් දෙමසක කාලයක් පුහුණු කිරීම, එම කාලය තුළ ඔවුන්ට කෑම බීම, ප්‍රවාහන හා පුහුණුවීමට ශාලා මිලදී ගැනීම, ශබ්ද විකාශන මිලදී ගැනීම, හම්බන්තොට එක්දින පුහුණුවක් හා සංදර්ශනය පැවැත්වීමට අමතරව එම රංගනයට දායක වූවන්ට නවාතැන් සැපයීම හා අනෙකුත් වියදම් සඳහා රුපියල් 69 ලක්ෂයට ආසන්න මුදල ලබාගත් බව චන්න සහ උපුලී පවසති.

තමන් ඉදිරිපත් කළේ ‘විශාල ඓතිහාසික දැවැන්ත ප්‍රාසාංගික රංගනයක්’ බව සඳහන් කරන චන්න උපුලී රංගායතනයේ හිමිකරුවෝ ඒ වෙනුවෙන් රුපියල් කෝටි එකහමාරක් ලබාගත් බවට මාධ්‍ය වල පල කරතිබූ වාර්තා ප්‍රතික්ෂේප කරති.

කෙසේවෙතත්, හම්බන්තොට රංගනයට දායක වූ ශිල්පී ශිල්පිනියන්ට කිසියම් දීමනාවක් ගෙවන ලද්දේදැයි චන්න උපුලී දෙපල තම නිවේදනයේ සඳහන් කොට නැත.

Related posts

Comments are closed.

Top