පොදු සමා නොලද දේශපාලන සිරකරුවන්ගෙන් මාරාන්තික උපවාසයක්

Welikada-Prison

රජය පොදු සමාවක් ලබා දීමට එකඟ නොවීම නිසා ලබන සතිය මුල සිට නිදහස පතා මාරාන්තික උපවාසයක් දියත් කිරීමට දෙමළ දේශපාලන සිරකරුවන් තීරණය කර තිබේ.

මේ සැම දෙනම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කොටගෙන රජය විසින්  එල්ටීටීඊ චෝදනා නගා සිරගත කරන ලද දෙමළ ජාතිකයන්ය.

තමන් නිදහස් කරන බවට ඔක්තෝබර් 18 දා දුන් පොරොන්දුව  ජනාධිපතිවරයා විසින් කඩ කොට ඇති හෙයින් මියයන තෙක් උපවාස කිරීමේ  තීන්දුවට එළැඹි බවයි නම සඳහන් නොකරන මෙන් ඉල්ලා සිටිමින් ගගන හා දුරකතනයෙන් කතා කළ දේශපාලන සිරකරුවකු ප්‍රකාශ කළේ.

62 කට ඇප

නිදහස ඉල්ලා කුත් මස 12 දා ආරම්භ කළ උපවාසයක් දෙමළ දේශපාලන සිරකරුවන් විසින් දින හයකින් අත් හිටුවනු ලැබුයේ නොවැම්බර් 7 වනවිට තීන්දුවක් ගන්නා ලෙස රජයට කල් දෙමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවැති සාකච්ඡාවකින් පසු 5 බ්‍රහස්පතින්දා විපක්ෂ නායක රාජවරෝධයම්  සම්බන්ධන් මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේ දේශපාලන සිරකරුවන් හැට දෙදෙනකු දෙවාරයකදී  ඇප පිට නිදහස් කිරීමට රජය තීරණය කොට ඇති බවයි.

ඒ අතරින් තිස් දෙදෙනකුට ඇප දීම 9 සඳුදා සිදුවනු ඇතැයි අගමැතිවරයා දැනුම් දුන්  බවයි විපක්ෂ නායකයා කියා තිබුනේ.

Wijedasa meets prisoners

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඇම් ඒ සුමන්දිරන් ඔක්තෝබරයේ දී උපවාසික දේශපාලන සිරකරුවකු මුණගැසී

TNA උපවාසය 

ජනාධිපතිවරයා පොදු සමාවක් නොදෙන්නේ නම් දෙමළ දේශපාලන සිරකරුවන් හා එක්ව  නිදහස උපවාස විරෝධතාවක යෙදෙන බව ඔක්තෝබර් 18 දා දෙමළ ජාතික සංධානය (TNA) අනතුරු අඟවා සිටියේය.

දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දීම සම්බන්ධයෙන්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේතාක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැත.

රජය ප්‍රකාශ කරන පරිදි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන සිරකොට සිටින දෙමළ පිරිස 273 කි.

සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ප්‍රකාශ කරන්නේ තවත් දේශපාලන සිරකරුවන් නිල නොවන ස්ථාන වලත් රඳවාගෙන ඉන්නා බවයි.

 

Related posts

Comments are closed.

Top