යුද්ධය නිම වුවත් ශ්‍රී ලංකාවේ ‘වධ හිංසා පැමිණවීම් නැවතී නැත’

Torture burns FFT

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් අවසාන වී තිබුනත්, සන්නද්ධ සේනා සහ පොලිසිය විසින් කෙරෙන වද බන්ධන අත් හිටුවා නැති බව වධයට පත් වූවන්ට ප්‍රතිකාර කරන ලෝකයේ ප්‍රමුඛතම ආයතනයක් වාර්තාවක් නිකුත් කරමින් පවසයි.

කිළිටි වූ සාමය: 2009 මැයි පටන් ශ්‍රී ලංකාවේ වධ හිංසා (Tainted Peace: Torture in Sri Lanka since May 2009) නම් වාර්තාව බ්‍රහස්පතින්දා නිකුත් කරමින් බ්‍රිතාන්‍යය මුලස්ථාන කොටගත් Freedom from Torture (FFT) හෙවත් වධ හිංසාවෙන් නිදහස සංවිධානය පවසන්නේ ලංකාවේ දිස්ත්‍රික්ක පහළොවක් පුරා හමුදා, පොලිස් හා ඔත්තු සේවා මධ්‍යස්ථාන වල වධ බන්ධනයට ලක්වූ  148 දෙනකු ලබා දුන් තොරතුරු තමන් විසින් ලේඛන ගත කොට ඇති බවයි. මේ අතර 2014 සහ 2015 තරම් මෑතකදී වධයට භාජන වූ අයද වෙති.

යුද පොලිස් යන්ත්‍රය

සෝනියා ස්කේට්ස්

“වධ හිංසා පැමිණවීම ශ්‍රී ලංකා යුද සහ පොලිස් යාන්ත්‍රණයට තදින් කා වැදී ගත්තක් බව සැකයෙන් තොරව කිව හැකි,” බව පවසන FFT අධ්‍යක්ෂිකාවක් වන සෝනියා ස්කේට්ස්, ඊට වග කිව යුත්තන් හඹා යාමට ලබන සතියේ පත්වන නව දේශපාලන නායකත්වය  නොබියව ඉදිරිපත් විය යුතු බව අවධාරණය කරන්නීය. යුද සමයේත් ඉන් අනතුරුව ගත වූ හය අවුරුද්දක කාලය තුලත් දෙන ලද වධ හිංසා ඇතුළු බරපතල අපරාධ ගැන සොයා බැලීම ට මේ තාක් විරෝධය පා ඇති හමුදා, පොලිස් සහ ඔත්තු සේවා පිරිස් සම්බන්ධයෙන් නව නායකත්වය පියවර ගත යුතු බව ඇය වැඩි දුරටත් පවසන්නීය.

LTTE

FFT coverpageFFT සංවිධානය පවසන පරිදි තමන් හා කතා කළ ගැහැණු පිරිමි හැමදෙනකු ම දරුණු ගුටි බැටයට ලක්වී තිබේ.  80% කට ආසන්න සංඛ්‍යාවක් පුළුස්සා ඇති අතර, 71% ක් ලිංගික වධ හිංසනයට ගොදුරු වී ඇත. හුස්ම හිර කිරීම සහ දෑතින් හෝ දෙපයින් එල්ලා තැබීම ඇතුළු අමානුෂික වධ බන්ධන පිලිබඳ විස්තරද පිටු 77ක වාර්තාවේ දැක්වේ.

හැම දෙනාම පාහේ වධ බන්ධනයට ලක් කොට ඇත්තේ විමුක්ති කොටි සංවිධානය සමග පැවති හෝ තිබුණු බවට සැක කෙරෙන හෝ සම්බන්ධතා නිසා බව FFT සංවිධානය පවසයි. වාර්තාවේ දැක්වෙන පරිදි  අපරාධ කරුවන් වධ හිංසා පමුණුවා ඇත්තේ ප්‍රතිවිපාක පිලිබඳ කිසිදු බියකින් තොරවය. වධ බන්ධන පැමිණවීම මුලිනුපුටා දැමීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය අත බව FFT සංවිධානය වැඩි දුරටත් පවසයි.

Related posts

Comments are closed.

Top