මම ඇමතිකමෙන් යන්නේ නැහැ – අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ

wijedasa rajapkasha

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමාට එල්ල කරන චෝදනා පදනම් විරහිත ඒවා නිසා තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ඇවැන්ගාඩ් සිද්ධිය මුල්කරගෙන මිනීමරුවන් සහ කප්පම් කරුවන්ගේ ඉල්ලීම්වලට මුලා වී ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට තරම් තමන් අඥනවන්තයකු නොවන බව ද හෙතෙම අවධාරණය කරයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බවත් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යවරයා සඳහන් කළේය.

තම ස්ථාවරය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසිය.

” මේ සම්බන්ධයෙන් මට චෝදනා කරන්න තරම් පුංචි හේතුවක්වත් නැහැ. මම ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන් කවදාවත් කතා කරලා නැහැ. මම එදා පාර්ලිමේන්තුවේදී කතා කෙළේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන්. ඒ මම කියපු දේවල් 100%ක්ම නිවැරැදියි. මගේ අමාත්‍යාංශය යටතේ තියෙන දෙපාර්තමේන්තුවක් වන නීතිපති දෙපාර්තමේන්තුව නිවැරැදි දේ කරලා තියෙනවා නම් ඒ රජයේ නිලධාරීන්ට ආරක්ෂාව ලබාදීම මගේ වගකීමක්. ඒ උදවියට විපක්ෂයේ මිනිස්සු ගහන එක සාමාන්‍ය දෙයක් වුණත් ආණ්ඩුවේ මිනිස්සුත් ඒ අයට ගහන්නේ රට අරාජික කරන්නයි. ඒකට ඉඩ දෙන්න බැහැ. මගේ ස්ථාවරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
අධිකරණ අමාත්‍යාංශයේ කිසිම පරීක්ෂණයක් කරන්නේ නැහැ. පරීක්ෂණ කරන්නේ පොලිසියෙන්. ඒ නිසා මම ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නැහැ. පසුගිය කාලේ හැට හැත්තෑදාහක් මරලා දාපු මිනීමරුවන්ගේ උපදෙස් මම ගන්නේ නැහැ. ඒ අය කොහොම කිව්වත් මම වැරැදි කරලා නැති නිසා ඇමැතිකමෙන් අයින් වෙන්න තරම් මොළේ අමාරුවක් මට නැහැ. මම දිගටම මේ ඇමැතිධුරයේම ඉන්නවා.
මට ඉවත් වෙන්නැයි කියන උදවිය හරිනම් තවදුරටත් තනතුරේ සිටින ලෙස බලපෑම් කළ යුතුයි. මහින්ද රාජපක්‍ෂ රට පාලනය කළ සමයේ ඔය කෑගසන උදවිය කොහෙද හිටියේ කියලා මං අහනවා.

රටේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් සැබෑ තත්ත්වය අවබෝධකරගෙන සිටියදී අහක ඉන්න උදවියයි කෑගහන්නේ. තනතුරෙන් ඉල්ලා අස්‌වෙන්න තරම් මා මෝඩ නැහැ. ඇවන්ගාඩ් සැබෑ තත්ත්වය ගැනයි මා කිව්වේ. අපේ නීති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරක්‍ෂා කළ යුතුයි. මට ඔවුන් පාවා දෙන්න බැහැ. රටේ යුද්ධය මෙහෙයවා ත්‍රස්‌තවාදීන් මුළුමනින්ම ඉවත් කළ ගෝඨාභය රාජපක්‍ෂ සහ නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ.

ඇවන්ගාඩ් පිළිබඳව මම සැබෑ තත්ත්වය ප්‍රකාශ කළේ හැංගිහොරා නොවේ. අපට සත්‍ය කතාකරන්න නිදහස තිබෙනවා. අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා සත්‍ය අවබෝධ කරගෙන තිබියදී අහක සිටින උදවිය අද මා වෙනුවෙන් උද්ඝෝෂණ පවත්වනවා.

ත්‍රස්තවාදය රටෙන් තුරන් කරන්න ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දුන්නා කියලා අපි දේශපාලන භේදයකින් තොරව පිළිගන්න ඕන. එයාව ත්‍රස්තවාදියෙක් කරන්න කියලා තමයි ඔය ඇමැතිලයි, අනුර කුමාරලයි කියන්නේ. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔහු සටන් කෙළේ රට වෙනුවෙන් ” යැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් කීය.

Related posts

Comments are closed.

Top