යාපනය සරසවියේ මහවිරු සමරු පෝස්ටර් ඇලැවේ

Heroes day 2015 jaffna uni

යාපනය සරසවි බිත්තියක අලවා තිබූ 2015 මහවිරු දින පෝස්ටරයක්

යුද්ධයෙන් මියගිය අය සමරන ලෙස උතුරේ දේශපාලන පක්ෂ සහ විශ්ව විද්‍යාල සිසු සංගම් ඇතුළු සංවිධාන දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුනත් මහවිරු සමරු මැඩලීමේ හැකියාවක් තමන්ට නැති බව පොලිසිය පවසයි.

පුද්ගලික ස්ථාන වල මහවිරු සමරු පැවැත්වු පමණින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමට හෝ එම ස්ථාන  වැටලිමට හෝ නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගගන හා කියා සිටියේ.

නමුත් පුද්ගලික ස්ථාන වල නීති විරෝධි කටයුතු වන වගට පැමිණිල්ලක් කරනු ලැබුවහොත් නීතිමය පියවර ගන්නා බව උතුරේ පැවැත්වීමට කැඳවා ඇති මහවිරු සමරු පිළිබඳව ගගන  කළ විමසීමකදී සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, එම සමරු පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ‘ලැබීමට වඩා නොලැබිමේ සම්භාවිතාව වැඩි’ බවයි ඔහු පැවසුවේ.

හිටපු එල්ටීටීඊ සාමාජිකයන් වෙනුවෙන් වව්නියාවේ මහවිරු සමරු පෝස්ටර් ඇලවීමක්  ගැන  ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ අරඹා ඇති බව පොලිස් ප්‍රකාශක වැඩිදුරටත් කියා සිටියේය.

‘බිය නැතිව සමරන්න

මේ අතර, දෙමළ ජනතාවට තම මියගිය විරුවන් බියෙන් තොරව සිහිපත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්  ඇති බව දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් කියා සිටියේය.

යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් 25 බදාදා උතුරු පළාත්සභා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ මිය ගිය අය අනුස්මරණය කිරීම එක් වෙතැයි විශ්වාස කෙරෙන අතිවිශාල ජනකාය වලක්වාලීමට හෝ ඊට බාධා කිරිමට කිසිදු බලවේගයකට නොහැකි බවයි.

මහවිරුවන් සැමරිම සදහා කෝවිල් සහ පල්ලි වලට ගොස් පහන් දල්වන ලෙසද  එම්කේ සිවාජිලිංගම්  දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

යාපනය විශ්ව විද්‍යාල විද්‍යා ආචාර්ය සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජනතාවගේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ සියළු දෙනා සිහිපත් කළ යුතු බවයි.

එසේ ජිවිත පරිත්‍යාග කළ සියලු සංවිධාන වල විරුවන් සහ යුද්ධයේදී මියගිය ජනතාව සිහිපත් කිරීමට නොවැම්බර් මාසය යොදා ගන්නා ලෙස යාපනය සරසවි ඇදුරෝ ඉල්ලා සිටිති.

යාපනයේ ගගන වාර්තාකරු ප්‍රකාශ කළේ පහන් දැල්වීමට  රජයේ ආරක්ෂක අංශ වලින් ගිය අවුරුද්දේ බාධා පැමිනුනත්, මේ වසරේ මැටි පහන් අලෙවිය සීග්‍රයෙන් සිදුවනු දැක ගන්නට හැකි වුනු බවයි.

එල්ටීටීය විසින් 1989 මුල්වරට පැවැත්වූ  මහවිරු දිනය ලෙස නම් කොට ඇත්තේ සටන් බිමේදී තම පළමු කාඩර්වරයා ලුතිනන් ශංකර් මියගිය දවසයි.

ඒ 1982 නොවැම්බර් 27 දාය.

Related posts

Comments are closed.

Top