පොදුරදමඩුලු නායක සමුළුවට ජනපති අද මෝල්ටාව ට

maithripala-sirisena2-gagana

මෝල්ටා රාජ්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම පිණිස ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (26දා) අලුයම මෝල්ටාව බලා පිටත්ව ගියේය.

නොවැම්බර් 27-29 දක්වා මෙවර සමුළුව පැවැත්වේ. රාජ්‍ය නායක සමුළුවේ ආරම්භක සැසිවාරය 27 වැනිදා පැවැත්වෙන අතර එහිදී වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෝල්ටා ජනාධිපතිනි මාරි ලුවිස් කොලෙයිරෝ වෙත සභාපති ධුරය සම්ප්‍රදායානුකූලව පිළිගන්වනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පැවරුන අතර එතෙක් එහි සභාපතිත්වය හොබවනු ලැබුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි . 2014 ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ ශ්‍රී ලංකාවට සභාපතිදුරය හිමිවිය.

2014 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය උළෙලට සහභාගි නොවූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජන මෙවර මෝල්ටාවේ පැවැත්වෙන සමුළුවට සහභාගි වීමට නියමිතය.

අද (26දා) දින පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව ආරම්භ වීමට නියමිත අතර ඊට ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති මංගල සමරවීර  සහභාගි වීමට නියමිතය.

ඉන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල ආර්ථික සමුළුව පැවැත්වෙන අතර එය නියෝජනය කරනු ලබන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ය.

මධ්‍යධරණී මුහුදේ පිහිටි දූපත් රාජ්‍යයක් වන මෝල්ටාව දෙවැනි වරටත් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට ලෙස කටයුතු කරයි.

නොවැම්බර් 27 වැනිදා පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන් පිළිගැනීමේ සමාරම්භක උළෙල පැවැත්වෙන අතර මෝල්ටාවට සුවිශේෂී සංස්කෘතික අංගයන්ට එහිදී මුල් තැන ලැබෙනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාලයේදී ජනාධිපති සිරිසේන අනෙකුත් රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගි වීමට නියමිතය.

අන්තර්ජාතික දේශපාලනයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශක්තිය භාවිත කරමින් වැදගත් ගෝලීය ගැටලු පිළිබඳ වෙනසක් ඇති කිරීමත් පොදු රාජ්‍ය මණ්ඩලයීය පුරවැසියන්ගේ ජීවිතවල නිදහස, අභිමානය සහිත යහපත් වෙනසක් සහතික කිරීමටත් රාජ්‍ය නායක සමුළුව පියවර ගනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාරික සමුළුව 24-26 දක්වා මෝල්ටාහි හිල්ටන් ජුලියානාස් හෝටලයේදීත්, තරුණ සමුළුව 21-25 දක්වා මෝල්ටාහි ශාන්ත අන්තෝනියෝ හෝටලයේදීත් කාන්තා සමුළුව ඉන්ටර්නැෂනල් හෝටලයේදීත්, පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සමුළුව ආවරණය කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගිව සිටින අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීහු පිරිසක්ද ඊට එක්වී සිටිති.

හිෂාන් වැල්මිල්ල

Related posts

Comments are closed.

Top