‘පොලිසියට දුන් පාපෝච්චාරණ මත පැවරූ නඩු අස්කරගන්න’

Wijedasa meets prisoners

අධිකරණ ඇමැති දේශපාලන සිරකරුවන් සමග

පොලිසියට කරන ලද පාපොච්චාරණ පදනම් කරගෙන දේශපාලන සිරකරුවන්ට පවරා ඇති නඩු ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා තිබේ.

ත්‍රස්‌තවාදය වැළක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ අත් අඩංගුවේත් රිමාන්ඩ් භාරයේත් රඳවාගෙන සිටින සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව බරපතල අවධානය යොමු කරන මානව හිමිකම් කොමිසම ඔවුන්ගේ නිදහස වෙනුවෙන් ගත හැකි පියවර කිහිපයක් නීතිපති යුවන්ජන ජවහර්ලාල් විජයතිලකට ලිපියක් මගින් නිර්දේශ කොට තිබේ.

පාපොච්චාරණ හැරුණු කොට වෙනත් පිළිගත හැකි සාක්ෂි නැතිව පැවරූ නඩු මෙන්ම සාපේක්ෂ වශයෙන් සුළු වැරදි සඳහා පවරා ඇති නඩුද ඉවත් කරගන්නා ලෙස කොමිසම නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

නඩු නැතිව බොහෝකල් සිර අඩස්සියේ තබාගෙන සිටින්නන් වහාම නිදහස් කරන ලෙස නිර්දේශ කරන කොමිසම සාක්ෂි ඇති අය වුවද, දිගු කලක් රඳවාගෙන සිටියේ නම් ඔවුන් ඇප මත නිදහස් කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව ද රජයට කියා තිබේ.

බරපතල උල්ලංඝන

දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය වහාම විසඳිය යුතු ‘ඉතා තීරණාත්මක’ එකක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, දීර්ඝ කාලයක් පුද්ගලයන් රඳවා තබා ගැනීම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් මෙන්ම මානව හිමිකම් ද බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව රජයට අවධාරණය කර තිබේ.

තම නිදහස පතා දියත් කළ උපවාසයකින් පසුව හතලිහකට ආසන්න දේශපාලන සිරකරුවන් පිරිසක් දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ඇති අතර ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රජයෙන් දිගටම ඉල්ලා සිටින්නේ නීති රාමුවට සීමා නොවී දේශපාලන තීන්දුවක් ගෙන සියලු දෙනාම පොදු සමාවක් දී නිදහස් කරන ලෙසයි.

රජයේ සංඛ්‍යාලේඛන අනුව අත් අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව 234 ක් වුවත්, මානව හිමිකම් සංවිධාන සැක කරන්නේ තවත් බොහෝ දෙනා රහසිගතව රඳවාගෙන ඉන්නා බවයි.

එවන් එක් රහස් වධකාගාරයක් ත්‍රිකුණාමලයේ නාවික හමුදා සංකීර්ණයේ පවත්වාගෙන යනු ලැබූ බව දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් පිරිසක් විසින් මේ මස මුලදී තහවුරු කරන ලදී.

 

 

Related posts

Comments are closed.

Top