පලස්තීන කවියාගේ මරණ දඬුවමට එරෙහිව ජගත් ලේඛකයෝ පෙළ ගැසෙති

Ashraf Fayadh

© Ashraf Fayadh

පලස්තීන ජාතික කවියකු මෙන්ම  සමකාලික සවුදි අරාබි කලාවේ පුරෝගාමියකු හැටියට සැ‍ලකෙන අෂ්රෆ් ෆයාද් ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කළේය යන පදනමින් මරණීය දණ්ඩනයට යටත් කිරීමට සවුදි අධිකරණය කර ඇති නියෝගයට එරෙහිව ලොව පුරා ලේඛක ලේඛිකාවෝ පෙත්සමක් දියත් කොට තිබේ.

මේ වන විටත් දෙසියයකට අධික අත්සන් සහිතව PEN ලේඛක ජාත්‍යන්තරය අරඹා ඇති පෙත්සම ඉල්ලා සිටින්නේ අෂ්රෆ් වහා නිදහස් කරන ලෙසයි.

වැනිසිය සහ ජෙඩා යන නගර වල පැවැති සාමුහික කලා ඉදිරිපත් කිරීම් අෂ්රෆ්ට එරෙහි මෙම නියෝගයට පදනම් වී තිබේ.

“ජනතාවට කෙතරම් අප්‍රිය වුවද, අදහසක් දරා සිටීම හෝ එය සාමකාමීව ප්‍රකාශයට පත් කිරීම අපරාධයක් නොවේ,” යි පෙත්සමේ සඳහන් වේ.

PEN ජාත්‍යන්තරය පවසන අන්දමට, නියෝගය දුන් නොවැම්බර් 17 දා පටන් දින 30ක අභියාචනා කාලයක් පමණක් ඉතිරිව ඇති අෂ්රෆ් කවියාට තවමත් නීතිඥ සේවයක් ලැබී නැත.

මරණ දඬුවමට එරෙහිව දියත් කොට ඇති තවත් මහජන පෙත්සමකට අත්සන් තබා ඇති පිරිස ලක්ෂ එකහමාරකට ආසන්නය.

කස පහර 800ක්

තිස්පස් හැවිරිදි අෂ්රෆ් ‘Edge of Arabia‘ නම් ප්‍රකට කලා සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකි.

මෙම මරණ දඬුවම ලබන්නට පෙරම ඔහුට සවුදි අරාබියේ අසීර් ප්‍රාන්තයේ අගනගරය වන අභා අධිකරණයෙන් වසර 4ක සිර දඬුවමක් හා කස පහර 800ක් නියම කර තිබුණි. ඒ 2014 මැයි මාසයේදී ය. ඒ අධිකරණ ක්‍රියාවලිය ද තවම අවසන් වී නැත.

මෙම මරණ දඬුවම ගැන දැනගත් මොහොතේ අෂ්රෆ් කියා සිටියේ ‘මං ඇත්තටම තිගැස්සුණා, මේ තීන්දුවට. මොකද මරණීය දණ්ඩනයකට යටත් කරන්න තරම් කිසිම දෙයක් මං කරලා නැති හින්දා‘ යනුවෙනි.

නීතිඥ සේවය අහිමිව

සංක්‍රමිකයන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන කුවේට් ජාතික ක්‍රියාකරිකයකු මෙන්ම මෙම කවියා නිදහස් කරගැනීමේ සටනේ ප්‍රමුඛයකු වන මෝනා කරීම්  මේ සිද්ධිය ගැන මෙසේ පවසා සිටියේ ය.

” අෂ්රෆ් කවියාට මේ වන විට නිතිඥ මහතකුගේ සේවයවත් ලබා ගන්න බැරිවෙලා. මොකද 2014 ජනවාරි මාසෙ ඔහුව අත්අඩංගුවට ගත්ත වෙලාවෙ ඔහුගෙ හැඳුනුම්පත පවා රාජසන්තක කළා. මේ නඩුවට අදාලව බලධාරීන් කිව්වෙ මේ නඩුවට අලුතින් චෝදනා ගොනු කරනවා වගේම අලුත් විනිශ්චයකාරයකුත් පත් කරනවා කියලා. නමුත් අලුත් විනිශ්චයකාරයා ඔහුගේ හඬට ඇහුන්කන් දෙන්නෙවත් නැතුවම තීන්දුව ප්‍රකා‍ශයට පත් කළා. මේකයි ඇත්ත තත්වෙ.”

කරීම්ගේ අදහස වන්නේ අෂ්රෆ්ට මේ මේ තීන්දුව ලැබීමට ඔහුගේ පලස්තීන සම්භවය ද බලපා ඇති බවයි. පලස්තීන සරණාගතයකු වන නමුදු අෂ්රෆ් ඉපදී ඇත්තේ සවුදි අරාබියේ ය.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ පංච පුද්ගල විශේෂඥ මණ්ඩලයක ප්‍රධානියා ලෙසින් එක්සත් ජාතීන්ගේ සෞදි අරාබි තානාපති ෆයිසාල් බින් හසන් ත්‍රාඩ් පත් කිරීමට එරෙහිව ලොව පුරා මානව හිමිකම් සංවිධාන වල විරෝධය මතුවී තිබේ.

Related posts

Comments are closed.

Top