හමුදා සෙන්පතියන්ගේ සේවා දිගු කිරීමේ ඉල්ලීමට හිටපු ජනාධිපතිත් එක්වේ

With military in kili

යුද අපරාධ චෝදනා එල්ලවන සන්නද්ධ සේනා වල ඉහලම නිලධාරීන් පිරිසකගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

“මේ නිලධාරීන් හමුදාවෙන් විශ්‍රාම ගිය පසු ඔවුන්ට යුද හමුදාවෙන් ලැබෙන ආයතනික ආවරණය හා ආරක්ෂාව නැති වන,” බව ජනාධිපති ධුරයෙන් පහවීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින් සිය මුල්ම කතාව පවත්වමින් අයවැය විවාදයට එක්වූ මහින්ද රාජපක්ෂ නොවැම්බර් 4 දා ප්‍රකාශ කළේය.

අඩුම වශයෙන් සාමාන්‍ය වැසියන් හැත්තෑ දහසක් මිය ගිය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තක්සේරු කර ඇති ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සේනාධිනායක ධුරය ඉසිලූ හිටපු ජනාධිපතිවරයා ‘යුද අපරාධ විමර්ශන පිලිබඳ කතාබහක් පවතින මෙවැනි අවස්ථාවක’ එම නිලධාරීන් විශ්‍රාම ගැන්වීම හැඳින්වුයේ ‘ඔවුන්ව හිතාමතාම තනි කිරීමක්’ ලෙසයි.

මිගමු සාකච්ඡාව

සංචාරක හෝටලයකදී වත්මන් ජනාධිපතිවරයා හමුවූ යුද අපරාධ චෝදනා ලාභී හමුදාවේ ඉහල නිලධාරීන් පිරිසක් තම ආරක්ෂාව පතා සේවා දිගුවක් ඉල්ලා සිටීම ඔවුන්ට පහල නිල දරන්නන්ගේ අමනාපයට හේතු වූ බව ගගන මේ සතිය මුලදී වාර්තා කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරය මේතාක් හෙළි වී නැත.

ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා රටේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමට විදේශ රටවලට ඉඩ දී තිබීම වැරදි බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍ය රජයටත් පාර්ලිමේන්තුවේදී  සිය විවේචනය එල්ල කළේය.

හමුදා නිලධාරීන් ‘ඉක්මනින් හා පහසුවෙන් හිරේ දැමීමට හැකිවන ආකාරයට’ රටේ දැනට පවතින නීතිය සංශෝධනය කිරීමටත්, ‘පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කිරීමටත්’ රජය එකඟ වීම නිසා යුද හමුදාව ප්‍රතිසංස්කරණය සඳහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවුම් මිලියන හයක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට දුන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

හමුදා ප්‍රතිසංස්කරණ

‘යුද අපරාධ කළ බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන කිසිවකුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ රඳවාගැනීමට හෝ බඳවාගැනීමට ඉඩ නොතබන සංක්‍රමනීය යුක්ති ක්‍රියාදාමයක අංගයක් ලෙසින් ආරක්ෂක අංශ පලදායී ලෙසින් ප්‍රතිසංස්කරණය කිරීම’  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැප්තැම්බරයේ සම්මත කරගත් යෝජනාවේ නිර්දේශයකි.

ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත හඳුන්වා දුන්නේ ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීමට මිස ආරක්ෂක හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට නොවන බව සිය කතාවේ දී පෙන්වා දුන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් පසු සිව් වරක් එල්ටීටීඊ ය යළි හිස එසවීමට උත්සාහ දැරූ බවත් සඳහන් කළේය.

Related posts

Comments are closed.

Top